පාස්කු ප්රහාරය ගැන අඛන්ඩව ප්රශ්න කිරීම සමහරුන්ට “කාදිනල්ගේ පාස්කු පිස්සුව” වූයේ කුමක් නිසාදැයි මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ ඊයේ (20) හෙළි කළහ.
උන්වහන්සේ මේ බව ප්රකාශ කළේ ඊයේ රාගම පොල්ගහහේන ජේසු බිළිඳුන්ගේ දේවස්ථානය ආසිරි ගැන්වීම සහ අභිෂේක කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. පාස්කු ප්රහාරයෙන් වින්දිත පිරිස වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉල්ලීම පිස්සුවක් නම් ශ්රී ලාංකික නම් කතෝලික ප්රජාවේ නායකයා ලෙස තමන්ට ඒ පිස්සුව ඒ ආකාරයෙන්ම පවතිනු ඇති බව ද උන්වහන්සේ කීහ.
කාදිනල් හිමිපාණන් කීවේ මෙවැන්නකි.
” එක කාලයක් කිව්වා කාදිනල්ගේ පාස්කු පිස්සුව කියලා.”
ඒක පිස්සුවක් නෙමෙයි. එන්න කටුවාපිටිය ගමට. ඇවිත් බලන්න. ඒ පවුල්වල ඉන්න මිනිස්සුන්ගෙන් කතා කරලා බලන්න මොනවද ඒ ගොල්ලො කියන්නේ කියලා. ඒ මිනිස්සු තවමත් ඉන්නේ දුකෙන් වේදනාවෙන්. මම එහෙ යන හැම සැරේකම මිනිස්සු මගෙන් අහනවා කාදිනල් තුමනි, කෝ අපට යුක්තිය කියලා.”
” ඒ නිසා ඒක මගේ වගකිමක්. මේ පදවියේ නායක එඬේරානන් ලෙස මගේ ජනතාවට සුළු ඇබැද්දියක් හරි උනොත් එතන මම ඉන්නට ඕන. මම එතන නැතිනම් මගේ මේ රදගුරු මකුටය අකුලන් ගෙදර යන්න ඕන. මේවා දාගෙන ජනතාව සමග නැතිනම් මම කරන්නේ බොරුවක්.”
මම ඉන්න ඕන මගේ ජනතාවගේ පැත්තේ. දිළිඳුන්ගේ පැත්තේ. අසරණයින්ගේ පැත්තේ. පීඩාවට පත්වුන අයගේ පැත්තේ. අයුක්තියට ගොදුරු වුන අයගෙ පැත්තේ. ඒ නිසා තමයි ආදරණීය සහෝදර සහෝදරියනි. පාසුකු ප්රහාරය කාදිනල් තුමාගේ පිස්සුවක් කියලා සමහරු කියන්නේ. මේක පිස්සුවකට හැරිලා වගේ ඔවුන්ට පේන්න තියෙන්නේ අන්න ඒ නිසයි. ඒ පැත්ත ඉන්න නිසා.
මම ඒක අත හරින්නේ නෑ. මොන පිස්සුවක් කියලා කිව්වත් අපි පාස්කු ප්රහාරයේ ඇතුළු පැත්ත දැනගන්න ඕන. ඒ මිනිස්සුන්ගේ අයිතිය වෙනුවෙන් අපි කතා කරන්න ඕන. සියලු දෙනාම කතෝලිකයින් හැටියට ඒ සමාජ යුතුකම් ඉටු කරමින් ජීවත් වෙන්නට පුරුදු වෙන්න ඕන.







