මනම්පිටිය නිමල් ජයරත්න –
මඩකලපුව දිස්ත්‍රික්කයේ පවතින එකම සිංහල විද්‍යාලයවන කල්කුඩා ශ්‍රී සීලාලංකාර මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් 22 වෙනිදා පාසල් අධ්‍යාපන කටයුතු නිමවීමෙන් අනතුරුව, තම විද්‍යාලයට ස්ථිර ගුරුවරු ලබා දෙන ලෙසට බලකරමින් නිහඬ විරෝධතාවයක් විද්‍යාල ඉදිරිපිට සිදු කළහ.
මෙම විද්‍යාලයේ මේ වෙන විට 01 වසරේ සිට 11 වසර දක්වා පන්ති පැවැත්වෙන අතර එහි සිසුන් 41 දෙනෙකු අධ්‍යාපනය ලබති. ඒ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට සිටින්නේ ස්වේච්ඡා ගුරුවරු හයදෙනකු පමණක් බව සිසුහු සඳහන් කළහ.

කල්කුඩා සීලාලංකාර විද්‍යාලයේ විශේෂත්වය වන්නේ දෙමළ හා සිංහල සිසුන් භාෂා දෙකෙන්ම අධ්‍යාපනය ලැබීමත්, අධ්‍යාපනය ලබාදීමට ස්වේච්ඡාවෙන් පැමිණෙන ගුරුවරයකු රුපියල් 800ක ප්‍රවාහන ගාස්තුවක් දරා පැමිණ වසර දෙකකට ආසන්න කාලයක් මෙම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමත් බව, කල්කුඩා සීලාලංකාර විද්‍යාලයේ නිර්මාතෘ දේවගල දේවාලංකාර නාහිමියෝ මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කළහ.
මඩකලපුව දිස්ත්‍රික්කයේ සිංහල විද්‍යාලය 17 තිබූ අතර යුද සමයෙහි එම විද්‍යාලය 17 ම ත්‍රස්තවාදි ප්‍රහාරවලින් වැනසීමෙන් අනතුරුව, කල්කුඩා සිංහල මහා විද්‍යාලයේ ආරම්භ කිරීමට තමන් වහන්සේ මුල පිරූ බවත්, ඒ අනුව 2022 නොවැම්බර් 02
වෙනිදා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මූලිකත්වයෙන් මෙම පාසල විවෘත කර මඩකලපුව දිස්ත්‍රික්කයේ සිංහල හා දමිල දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ලබාදීමට කටයුතු කළ බවත් නාහිමියෝ සඳහන් කළහ.

පාසල් සිසුන්ගේ මෙම සාමකාමී විරෝධතාවයට එක් වූ දේවගල දේවාලංකාර නාහිමියන් සඳහන් කළේ දැනට වසර තුනකට ආසන්න කාලයක් ස්වේච්ඡාවෙන් සිංහල හා දමිළ දරුවන්ට අධ්‍යාපන ලබාදෙන මෙම ගුරුවරු හයදෙනා ස්ථිර කර මඩකලපුව කල්කුඩා ශ්‍රී සීලාලංකාර මහා විද්‍යාලයට එම ගුරුවරුන් අනුයුක්ත කර දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ලබාදීමට ජනාධිපතිවරයාගේ, අගමැතිවරියගේ මෙන්ම අධ්‍යාපන ඇමතිවරයාගේ අවධානය යොමු කරන ලෙසයි.







