ශ්‍රියානි විජේසිංහ –
ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඖෂධ අඩු මිලට මෙරට සමාගම් මිලදී ගෙන ඉන් අධික ලාභයක් තබා ගනිමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අලෙවි කිරිම මෙරට ඖෂධ හිඟයට ප්‍රධාන හේතු වී ඇතැයි සමස්තලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.
ඉන්දියාවෙන් රුපියල් 100ක මිලකට මිලදී ගන්නා ඖෂධයක් මෙරටට ගෙනඑන විට නැව්ගාස්තු ඇතුළු අමතර වියදම්ද එකතු වූ පසුව රුපියල් 120ක් වැනි මිලක් වැයවන බවත් එම ඖෂධ අදාල සමාගම විසින් රුපියල් 2500ක මිලකට ඖෂධ නීතිගත සංස්ථාවට අලෙවි කරන බවත් සංගමයේ සභාපති වෛද්‍ය ජයන්ත බණ්ඩාර පෙන්වාදේ.
ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඖෂධ රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවට සෘජුවම මැදිහත්ව මිලදී ගැනීම සිදු නොකර එම අවස්ථාව ඖෂධ සමාගම්වලට පවරා ඇත්තේ එමගින් අතරමැදියන්ට විශාල ලෙස කොමිස් මුදලක් හිමිවන බැවින් යැයි හෙතෙම පවසයි.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පිහිටුවීමේ මුලික හරය මේ ජාවාරම්කරුවන් විසින් විනාශ කර ඇති අයුරුද සංගමය පෙන්වා දෙයි.
මෙරට ඖෂධ නිෂ්පාදනය කරන ඖෂධ සමාගම් රාජ්‍ය ඖෂධ නීතිගත නිෂ්පාදන සමාගමේ නම අවභාවිතා කරමින් ඇතැම් ඖෂධ නිෂ්පාදනය කර අධික ලාභයක් ලබමින් ඒවා ඖෂධ නීතිගත සංස්ථාවටම නැවත අලෙවි කරන බවද වෛද්‍ය බණ්ඩාර පෙන්වාදේ.
මෙරට සේලයින් නිෂ්පාදනය කළ විදේශීය සමාගම අනුගමනය කළේ මෙම ක්‍රියාපටිපාටිය බවත් ඔවුන් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නාමය භාවිත කරමින් සේලයන් නිෂ්පාදනය කරමින් අධික ලාභයක් තබා ගනිමින් ඖෂධ නීතිගත සංස්ථාවට අලෙවි කළ බවද හෙතෙම සදහන් කරයි.







