ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ පනත යටතේ දින අනූවක රැඳවුම් නියෝග සහිතව රඳවාගෙන ප්‍රශ්න කරන අතරේ උණ රෝගයකින් පීඩිතව අද (25) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අන්තර් විශ්ව විද්‍යාලයී භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ගෙ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් අද උණ රෝගය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.
සිරිධම්ම හිමියන්ට දින කීපයක් පුරා මෙම උණ රෝගය තිබුණු බැවින් කොළඹ ජාතික රෝහලේ 49 වෙනි වාට්ටුවට ඇතුලත් කර තිබිණි.
කරන ලද රුධිර පරික්ෂාවන්ට අනුව සිරිධම්ම හිමියන්ට සාමාන්‍ය උණ රෝගයක් වැළඳී ඇති බව තහවුරු විනැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මේ වන විට දැඩි ආරක්ෂාව මධ්‍යයේ උන්වහන්සේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද ඔහු පැවසීය.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ ත්‍රස්ත විමර්ශනය ඒකකය භාරව සිටිය දී සතියක් පුරා දැඩි ලෙස රෝගාතුරව සිටි සිරිධම්ම හිමි කොලඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණු බවය.
එම කාලය පුරාම වෛද්‍යවරයෙක් වෙත උන්වහන්සේ ඉදිරිපත් නොකළ බවටත් එම බල මණ්ඩලය ප්‍රකාශ කර තිබුණේය.
උන්වහන්සේගේ සහෝදරිය විසින් පසුගිය 22 දින සිරිධම්ම හිමියන් බැලීමට ගිය අවස්ථාවේ මෙම රෝගී තත්ත්වය අනාවරණය වූ අතර ඒ පිළිබඳව නීතීඥවරු මාර්ගයෙන් කරුණු විමසීමට හෝ අවස්ථාව ලබාදුන්නේ නැති බවටත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කරන්නේය.
නීතීඥවරුන් මාර්ගයෙන් හෝ උන්වහන්සේගේ සුවදුක් විමසීමට ඇති අවස්ථාව අහුරාදැමුවේ ඇයි?. ඔවුන් ප්‍රශ්න කර ඇත.







