ඉරාන ප්‍රහාර ‘විශිෂ්ට මිලිටරි සාර්ථකත්වයක්’ බව ට්‍රම්ප් පැවසුවේය. ඔහු ඊශ්‍රයාලය සමග එක්ව මුල සිටම ඉරානයට පහදීමේ ව්‍යාපෘතිය තුළ සිටි බව ට්‍රම්ප් අද (22) එළිපිටම ප්‍රකාශ කිරීමට යෙදුනි.
මෑත කාලීන ප්‍රහාරවල අරමුණ ඉරානයේ “න්‍යෂ්ටික පොහොසත් කිරීමේ ධාරිතාවය නැවැත්වීම සහ ලෝකයේ අංක එකේ රාජ්‍ය ත්‍රස්ත අනුග්‍රාහකයා විසින් එල්ල කරන ලද න්‍යෂ්ටික තර්ජනය නැවැත්වීම” බව එක්සත් ජනපද ජනාධිපතිවරයා සිය විනාඩි තුනක් පමණ වූ කතාව අතර කීවේය.
“අද රාත්‍රියේ, ප්‍රහාර විශ්මයජනක මිලිටරි සාර්ථකත්වයක් බව මට ලෝකයට වාර්තා කළ හැකිය,” ඔහු පැවසීය. එක්සත් ජනපද ජනාධිපතිවරයා කීවේ තමා සහ ඊශ්‍රායල අගමැති කණ්ඩායමක් ලෙස වැඩ කළ බවයි.
“අගමැති බිබි නෙතන්යාහුට ස්තූති කිරීමට සහ සුබ පැතීමට මම කැමතියි,” ඔහු පැවසීය.
“අපි කණ්ඩායමක් ලෙස වැඩ කළා, සමහර විට කිසිම කණ්ඩායමක් මීට පෙර කවදාවත් වැඩ කර නැති තරම්, ඊශ්‍රායලයට මෙම භයානක තර්ජනය මකා දැමීමට අපි බොහෝ දුර ගොස් තිබෙනවා. ඔවුන් කළ අපූරු කාර්යය සඳහා මම ඊශ්‍රායල හමුදාවට ස්තූති කිරීමට කැමතියි.” ට්‍රම්ප් වැඩිදුරටත් මෙසේ කීවේය.
“සාමය ඇති වේවි, නැතහොත් පසුගිය දින අට තුළ අප දුටුවාට වඩා බොහෝ විශාල ඛේදවාචකයක් ඉරානයට සිදුවනු ඇති,” ඒ අනතුරු ඇඟවීම නූතන ලෝකයේ ප්රජාතන්ත්රවාදී යැයි කියා ගන්නා නායකයෙකුගෙන් කිසි දිනක බලාපොරොත්තු නොවන්නකි. අනතුරුව ඔහු කළ ප්‍රකාශය ද තිගස්වන සුළුය.
“මතක තබා ගන්න, ඉතිරිව ඇති ඉලක්ක බොහොමයක් තිබේ. අද රාත්‍රියේ ඉලක්කය ඒ සියල්ලෙන් වඩාත්ම දුෂ්කර එකක් වූ අතර, සමහර විට වඩාත්ම මාරාන්තික වූයේය, නමුත් සාමය ඉක්මනින් නොපැමිණියේ නම්, අපි නිරවද්‍යතාවයෙන්, වේගයෙන් සහ කුසලතාවයෙන් එම අනෙකුත් ඉලක්ක පසුපස හඹා යන්නෙමු.”
එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ කෙටි කතාව මිනිත්තු තුනක් පමණ පැවතුනි.







