කපිල කේ. හීනටියන –
ඇමරිකාව ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානම උත්සන්න වී ඇත. ජනාධිපති ට්‍රම්ප්ගේ “අනපේක්ෂිත බව” (Unpredictability) මූලික කරගත් විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් මැදපෙරදිග කලාපය පුරා මේ වන විට දැඩි යුද භීතියක් පැතිර ගොස් තිබේ. විශේෂයෙන්ම, සාමාන්‍යයෙන් හමුදා මෙහෙයුමකට පෙර දක්නට ලැබෙන රාජ්‍ය තාන්ත්‍රික සන්නිවේදනයන් පවා අත්හිටුවා තිබීම, ඕනෑම මොහොතක ප්‍රහාරයක් එල්ල වීමේ සම්භාවිතාව ඉහළ නංවන්නකි.
බටහිර ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ට්‍රම්ප් පරිපාලනය හිතාමතාම නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් ඉරාන ආරක්ෂක අංශ දැඩි මානසික පීඩනයකට ලක් කර ඇති බවයි. බස් රථ මගින් හමුදා භටයින් ඉවත් කිරීම වැනි සාම්ප්‍රදායික සංඥා වෙනුවට, ඉතා රහසිගතව සහ කඩිනමින් ප්‍රධාන මර්මස්ථානවලින් නිලධාරීන් ඉවත් කිරීම මගින් ඉඟි කරන්නේ “ඕනෑම තත්පරයකදී” ක්‍රියාත්මක විය හැකි දැවැන්ත ගුවන් හෝ මිසයිල ප්‍රහාරයකට වොෂින්ටනය සූදානම් වී ඇති බවයි
.ඊශ්‍රායල සහ යුරෝපීය බුද්ධි අංශ මගින් ලැබී ඇති “පැය 24 කේඩුව” පිළිබඳ අනතුරු ඇඟවීම් හේතුවෙන්, කලාපය පුරා පිහිටි ඇමරිකානු මිත්‍ර පාර්ශවයන් සිය ගුවන් ආරක්ෂක පද්ධති උපරිම සීරුවෙන් (High Alert) තබා ඇති අතර, මෙය දශක කිහිපයකින් කලාපය මුහුණ දෙන අස්ථාවරම අවස්ථාව ලෙස සනිටුහන් වී ඇත.
ඉරාන ඉස්ලාමීය ජනරජය සිය ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම දේශීය නොසන්සුන්තාව පාලනය කිරීමට උත්සාහ කරමින් සිටින පසුබිමක, විරෝධතාකරුවන් වෙනුවෙන් මැදිහත් වන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත නැවතත් කරන තර්ජනය සම්බන්ධව ලෝකයම සිටින්නේ දැඩි තිගැස්මෙනි.

ට්‍රම්ප්ගේ සූදානම
කලාපීය ආතතීන් උත්සන්න වීම හේතුවෙන් පූර්වාරක්ෂක පියවරක් ලෙස ප්‍රධාන කඳවුරුවලින් පිරිස් ඉවත් කර ගන්නා බව නිර්නාමිකභාවය මත එක්සත් ජනපද නිලධාරියෙක් තහවුරු කළේය. මේ අතර, කටාර්හි පිහිටි ගුවන් කඳවුරකින් බ්‍රිතාන්‍යය ද සිය නිලධාරීන් ඉවත් කර ගනිමින් සිටින බව “දි අයි” (The i) පුවත්පත වාර්තා කර ඇත.
මැදපෙරදිග විශාලතම ඇමරිකානු කඳවුර වන කටාර්හි ‘අල් උඩෙයිඩ්’ (Al Udeid) ගුවන් කඳවුරේ ඉවත් කිරීම් වර්තමාන කලාපීය ආතතීන්ට ප්‍රතිචාර වශයෙන් සිදු කරන්නක් බව කටාර් රජය තහවුරු කළේය.
බටහිර හමුදා නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කළේ, “සියලු සංඥාවලින් පෙනී යන්නේ එක්සත් ජනපද ප්‍රහාරයක් ආසන්න බවයි. අනපේක්ෂිත බව සිය උපාය මාර්ගයේ කොටසක් ලෙස භාවිත කරමින් ට්‍රම්ප් පරිපාලනය සියල්ලන්ම දැඩි අවධානයෙන් තැබීමට කටයුතු කරයි,” යනුවෙනි. ඉදිරි පැය 24 තුළ එක්සත් ජනපද හමුදා මැදිහත්වීමක් සිදුවිය හැකි බව යුරෝපීය නිලධාරීන් දෙදෙනෙකු සඳහන් කළ අතර, මැදිහත් වීමේ විෂය පථය සහ වේලාව අපැහැදිලි වුවද ට්‍රම්ප් ඒ සඳහා තීරණයක් ගෙන ඇති බව ඊශ්‍රායල නිලධාරියෙක් පවසා තිබේ.
ආර්ථික අර්බුදය සහ දරුණු නොසන්සුන්තාව
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් යුරෝපීය බලවතුන් පැනවූ සම්බාධක හමුවේ එරට ආර්ථික අර්බුදය දරුණු විය. මෙම තත්ත්වයට එරෙහිව සති දෙකකට පෙර ආරම්භ වූ විරෝධතා මෑත දිනවලදී වේගයෙන් උත්සන්න විය. මෙය 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු ඉරානය මුහුණ දුන් වඩාත්ම ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තාව ලෙස සැලකේ.
මරණ සංඛ්‍යාව පිළිබඳ විවිධ වාර්තා පළ වෙමින් පවතින අතර 2,000 කට අධික පිරිසක් මිය ගොස් ඇති බව ඉරාන නිලධාරීන් පවසයි. මානව අයිතිවාසිකම් කණ්ඩායම් පවසන්නේ මරණ සංඛ්‍යාව 2,600 ඉක්මවන බවය.
HRANA ආයතනය දත්තවලට අනුව විරෝධතාකරුවන් 2,403 දෙනෙකුගේ සහ රජයට සම්බන්ධ 147 දෙනෙකුගේ මරණ සත්‍යාපනය කර තිබේ. මෙය 2009 සහ 2022 වසරවල පැවති විරෝධතාවලට වඩා බෙහෙවින් වැඩි බව එම ආයතනය පෙන්වා දෙයි. ඔවුන් පවසන්නේ මේ වනවිට විරෝධතා කරුවන් 18, 137ක් අත් අඩංගුවේ පසුවන බවය.
ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අබ්දොල්රහිම් මවුසාවි ප්‍රකාශ කළේ ඉරානය මෙවැනි විනාශයකට මීට පෙර කිසිදා මුහුණ දී නොමැති බවයි. ඔහු මෙම නොසන්සුන්තාව සම්බන්ධයෙන් එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට චෝදනා කළේය.
ට්‍රම්ප්ගේ ස්ථාවරය සහ රාජ්‍ය තාන්ත්‍රික හුදෙකලාව
විරෝධතාකරුවන් ඝාතනය කළහොත් ඉරානයට එරෙහිව “ඉතා දැඩි ක්‍රියාමාර්ග” ගන්නා බවට ජනාධිපති ට්‍රම්ප් CBS පුවත් සේවය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රතිඥා දුන්නේය. එක්සත් ජනපදය ඉරානය ඉලක්ක කළහොත්, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ තුර්කියේ පිහිටි ඇමරිකානු කඳවුරුවලට පහර දෙන බවට ටෙහෙරානය පෙරලා තර්ජනය කර ඇත.
මේ අතර ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි සහ එක්සත් ජනපද විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් අතර පැවති සෘජු සම්බන්ධතා ද අත්හිටුවා තිබේ.
ඉරානයේ ප්‍රතිචාරය
ඉරාන රජය පෙන්වා දෙන්නේ තවමත් තත්ත්වය පාලනය යටතේ පවතින බවයි. රාජ්‍ය රූපවාහිනිය හරහා රජයට පක්ෂපාතී මියගිය පිරිස් වෙනුවෙන් පැවැත්වූ දැවැන්ත අවමංගල්‍ය පෙරහැරවල් විකාශනය කරමින් මහජන සහයෝගය ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කෙරිණි. ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් අවධාරණය කළේ මහජන සහයෝගය ඇති තාක් සතුරන්ගේ උත්සාහයන් නිෂ්ඵල වන බවයි.
අවසාන වශයෙන්, වොෂින්ටනය ප්‍රහාර එල්ල කිරීම වැළැක්වීම සඳහා මැදිහත් වන ලෙස ඉරානය කලාපයේ සිටින ඇමරිකානු සහචරයින්ගෙන් (කටාර්, තුර්කිය සහ එමීර් රාජ්‍යය) ඉල්ලා ඇති බව වාර්තා වේ.







