අක්මීමන නුගදුව අධිවේගී මාර්ග පිවිසුමේ දි ඊයේ (10) රාත්රි රථවාහන අංශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු යතුරුපැදියක් පරීක්ෂා කිරිමේදී යතුරුපැදියේ පසුපස වාඩි වී සිටි 21 හැවිරිදිවියේ පසු වූ තරුණයකු අතර ඇති වූ පොරබැදීමකදී පොලිස් නිලධාරියා විසින් තැබු වෙඩි ප්රහාරයකින් තරුණයා බරපතළ තුවාල ලබා රෝහල්ගත කොට ඇති බව අක්මීමන පොලිසිය පවසයි.
අක්මීමන පොලිසියට අනුයුක්ත රථවාහන අංශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් නුගදුව දෙස සිට අක්මීමන දෙසට ගමන් කරමින් සිට ඇත. නුගදුව ප්රදේශයේදී තරුණයන් දෙදෙනෙකු විසින් යතුරුපැදියක් නතරකරගෙන සිට ඇත. පොලිස් නිලධාරින් දෙදෙනා ඔවුන් පැමිණි යතුරුපැදිය නතරකොට පරික්ෂා කිරීමට සූදානම් වීමේදී එක් අයකු යතුරුපැදිය පණගන්වාගෙන ගොස් ඇත. යතුරුපැදියේ පිටුපස පැමිණි පුද්ගලයා පොලිස් නිලධාරියකු සමඟ පොරබැද පාර්සලයක් වැනි දෙයකින් පහරදීම පලායාමට උත්සාහ කොට ඇත. ඒ සමග පොලිස් නිලධාරියකු විසින් වෙඩි තබා ඇත. ඔහු තැබු වෙඩි ප්රහාරය තුවාලකරුගේ වම් හක්ක දෙසට වැදි දකුණු හක්ක දෙසින් පිට වී ගොස් ඇත. වෙඩි වැදීමත් සමග ඔහු වෙඩිකාගෙන දිවගොස් ඇත. පසුව යතුරුපැදියෙන් පලාගිය පුද්ගලයා නැවත පැමිණ තුවාලකරු යතුරුපැදියේ නංවාගෙන ගොස් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇත.
පොලිස් වෙඩි වැදිමෙන් තුවාල ලබා ඇත්තේ ගොඩකන්දවත්ත, මීගොඩ වංචාවල ප්රදේශයේ පදිංචිකරුවෙකි. 18 හැවිරිදිවියේ පසු වූ යතුරුපැදිකරුද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් වෙඩි ප්රහාරයට ලක් වූ පුද්ගලයා පොලිස් නිලධාරින්ට දමා ගැසීමට උත්සාහ කළ බෑගයේ තිබී ටී 56 ගිණි අවි සඳහා යොදන ජිව උණ්ඩ 105ක් හා විදේහීය රටක නිෂ්පාදිත අත් බොම්බයක් සොයාගෙන ඇත. අක්මීමන පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධව පරික්ෂණ පවත්වයි.
ලලිත් චාමින්ද සහ එම්.කේ කලුආරච්චි ගාල්ල







