2016 වසරේ දී රාජගියේ දී සංගීත් සම්පත් නැමැති තරුණයා බරපතල අනතුරකට ලක් කළ රිය අනතුරේ රියදුරු අසුනේ ගමන් කළේ පාඨලී චම්පික රණවක බව පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු අද සාක්ෂි දෙමින් පැවසුවේය.
අපරික්ෂාකාරී රිය පැදවීමෙන් සිදුකළ අනතුරක සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අදාලව ගොනු ඇති නඩුව අද විභාගයට ගැනුණේ කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්රමගේ මෙහෙයවීමෙන් පැමිණෙල්ලේ පළමු සාක්ෂිකරුගේ සාක්ෂි සටහන් කර ගැනුණි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා රිය අනතුර සිදුවු දිනයේය සිදුවු සිදුවීම් පිළිබඳව අධිකරණයේ දී අද ප්‍රශ්න කරනු ලැබුවේය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් – ඔබ අනතුරක් වෙලා කියලා දැන ගත්තේ කෙසේ ද?
පළමු සාක්ෂිකරු – මම යාලුවෙක් එක්ක බයික් එකේ යනකොට ඉස්සරහා දුමක් වගේ තියනවා දැක්කා. එතකොට මම හිතුවා ඇක්සිඩන්ට් එකක් කියලා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් – ඊට පස්සේ ඔබ මොනවද කළේ
පළමු සාක්ෂිකරු – ඊට පස්සේ මම එතෙන්ට ගියා. එතකොට මම අඳුනා ගත්තා ඒ සංදීප් කියලා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් – ඊට පස්සේ මොකද කළේ.
පළමු සාක්ෂිකරු – ඊට පස්සේ වාහනයක් කතා කරලා සංදීප්ව හොස්පිටල් යැව්වා.
රිය අනතුර සිදු කරපු වාහනය මොකක්ද කියලා දැනගත්තේ කොහොම ද? – එතන හිටිය කට්ටිය කිව්වා අර තියෙන්නේ හප්පු වාහනය කියලා. එතකොට මම යාලුවා එක්ක පිටිපස්සේන් ෆලෝ කලා නවත්වන්න නවත්වන්න කියලා කෑ ගගහ…
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් – ඊටපස්සේ වාහනය නැවැත්තුව ද?.
පළමු සාක්ෂිකරු – අපි ජීප් එක ඕවර්ටේක් කරලා බයික් එක නැවැත්තුවා. නැවැත්තුවට පස්සේ මම වාහනය ලඟට ගිහින් පැසෙන්ජර් සීට් එක පැත්තෙන් වාහනයේ ඩෝ එක ඇරලා ඩ්‍රයිවිං සීට් එකේ හිටපු කෙනාට ගහන්න හැදුවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් – ඔබ ගහන්න හැදුවා ද?
පළමු සාක්ෂිකරු – ඔව්… ගහන්න හැදුවා. ඒත් ගැහුවේ නෑ. මම අයිඩි ලයිෂන් දෙන්න කියලා බැන්නා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් – ඒ අවස්ථාවේ රියදුරු අසුනේ හිටපු පුද්ගලයා මොන වගේ ද?
පළමු සාක්ෂිකරු – උසයි . කළු ෂර්ට් එකක් අඳලා සන්ග්ලාස් දාලා හිටියේ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් – ඔබ ඔහුව අඳුනා ගත්ත ද?
පළමු සාක්ෂිකරු – නෑ… මම පුද්ගලයා මෙයා කියලා ඒ වෙලේ අයිඩින්ටිෆයි කරගත්තේ නෑ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් – ඊට පස්සේ මොකද වුනේ
පළමු සාක්ෂිකරු – මම ගහන්න හැදුවා. කෑ ගැහුවා. බැන්නා අයි.ඩී ලයිසන් එක දෙන්න කියලා. එතකොට ඩ්‍රයිවින් සීට් එකේ හිටපු කෙනා කිව්වා මම පාඨලී චම්පික. එන්න මාත් එක්ක බොරැල්ල පොලිසියට යන්න කියලා.
මේ අවස්ථාවේ දී පාඨලී චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න පළමු සාක්ෂිකරුගෙන් සාක්ෂි විමසීම සම්බන්ධව මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළේය. ඔහු පැවසුවේ මීට අදාලව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩුවක් විභාග කළ අතර එම නඩුවෙ දී දෙවැනි විත්තිකාර දිනිල් තුසිත කුමාර වරද භාර ගැනීමෙන් පසු දඬුවම්ද නියම කර තිබෙන බවය.
මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුව මෙම නඩුකරයට බාධාවක් නොවන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදි කියා සිටියේය.
අනතුරුව විත්ති කූඩුවේ සිට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඔහුගේ රියදුරුවන දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල යන අය පෙන්වා අනතුර සිදුවූ දින රියදුරු අසුනේ සිටි පුද්ගලයා විත්ති කූඩුවේ සිටී දැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සාක්ෂිකරුගෙන් විමසුවේය.
එහිදී සාක්ෂිකරු ඇඟිල්ලක් දිගු කරමින් ඔව්… අර ඉන්නේ යනුවෙන් පවසා විත්ති කූඩුවේ සිටි පාඨලි චම්පික රණවක පෙන්වූයේය.
විත්තිකාර පාඨලී චම්පික රණවකගේ රියදුරාවන දිලුම් තුසිත කුමාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසුවේය. අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා පැවසුවේ වැඩිදුර සාක්ෂි විභාගය හෙට දක්වා කල් තබන බවය.







