දිනසේන රතුගමගේ –
දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් උතුරු නැගෙනහිර සියලුම දෙමළ දේශපාලන පක්ෂ එකතු වී රජයට එරෙහිව කටයුතු කිරීමට තීරණය කොට තිබේ.
යාපනයේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂ බහුතරයක් මෙම තීරණය ගෙන ඇත්තේ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදීය.
යාපනය නල්ලූර් තරුණ හින්දු සංගම් ශාලාවේ පැවති මේ සාකච්ඡාවේදී ඔවුන් මුලින්ම සිදු කොට ඇත්තේ තිලීපන්ගේ තිස් තුන් වෙනි ගුණ සමරු උළෙල නිමිත්තෙන් තිලීපන්ව සිහිපත් කිරීමයි.
අනතුරුව මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කොට ඇත්තේ වත්මන් රජය දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සදහා කිසියම් හෝ වැඩ පිළිවෙළක් සකස් නොකරන බවය.
13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සංශෝධනය පවා ඉවත් කිරීමට රජය පියවර ගැනීමෙන් පෙනී යන්නේ උතුරු නැගෙනහිර දෙමළ වැසියන්ට ඇති අයිතිවාසිකම් කප්පාදු කිරීමට රජය පියවර ගන්නා බවයි.
මේ නිසා වහාම උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ සියල්ලම පොදු මතයකට රැගෙන ඒම සඳහා ඉදිරියේදී සාකච්ඡා පැවැත්වීය යුතු බවටද මාවෙයි සේනාධිරාජා යෝජනා කොට තිබේ.
මේ සාකච්ඡාවට සහභාගී වූ ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කොට ඇත්තේ දෙමළ ජනතාව පිළිබදව රජය කිසිදු තැකීමක් නොකළද ඊ.පී.ඩී.පී.සංවිධානය රජයට පක්ෂපාතීව කටයුතු කරමින් එම පක්ෂයේ නායකයින් පමණක් වරප්‍රසාද හිමි කර ගන්නා බවයි.
මේ නිසා එවැනි පක්ෂ හවුල් කාර්ගෙන දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කළ නොහැකි බව සඳහන් කරණ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ගජේන්ද්‍රකුමාර් පොන්න්නම්බලම්ගේ පක්ෂය සමග ද මේ පිළිබඳව සාකච්ඡා කළ යුතු බව ප්‍රකාශ කොට ඇත.
විග්නේස්වරන් මන්ත්‍රීවරයා කොළඹට ගොස් සිටි නිසා තමිල් දේශීය මක්කල් කූට්ටනි පක්ෂය වෙනුවෙන් ඔහු සහභාගී නොවූවද එම පක්ෂයේ කීප දෙනෙකුම රජයට විරුද්ධව ක්‍රියා කිරීමට දෙමළ දේශපාලන පක්ෂ එකතු කිරීමේ මුල්ම සාකච්ඡාවට පැමිණ සිටියහ.