ජාලිය වීරක්කොඩි-
සුගීෂ්වර බණ්ඩාර ලබන ජුලි මස පළමුවෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේය. ඒ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (18) නිකුත් කළ නියෝගයකට අනුවය.
අද දහවල් කොල්ලුපිටිය ප්‍රදේශයේදි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් ඔහු අත් අඩංගුවට ගන්නේ IMF නිලධාරීන් හා ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින් අතර පැවති හමුවෙන් අනතුරුව නැවත පැමිණෙමින් සිටියදිය.
ඒ ප්‍රවෘත්තිය දයාසිරි සියල්ලන්ටම කලින් අපට කීවේය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම යැයි කියාගත් පිරිසක් සුගීෂ්වර බණ්ඩාරගේ වාහනය හරස් කර ඔහුව පැහැර ගෙන ගියා බව දයාසිරි පැවසුවේය. බිහිසුණු විපත්තියක් සිදුවීමේ පෙර ලකුණු පහළවී ඇතැයි ඒ මොහොතේ අපට සිතුනේය.
වැඩේ දන්නේ පසුවය. සුගීෂ්වර බණ්ඩාර අත් අඩංගුවට ගෙන තිබුණේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ විරෝධී කමිටුව විසින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ සිදු වූ මුදල් වංචාවක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත යොමු කරන ලද පැමිණිල්ලකට අනුවය. 2022 වසරේ විශ්‍රාමික ජනාධිපතිවරයෙකු වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම්වරයෙකු වශයෙන් සිටිමින් හා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දැරූ එම කාල වකවානුව තුළම ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම මොහුට එල්ල වී තිබුණ මූලික චෝදනාව විය.

දැන් අපට දයාසිරිලාට කියන්නට ඇත්තේ කිල්ලෝටවල හුණු පුරවාගෙන කූරපයිය දේවාලයක් කරන්නට යන සිප්පි කෑලිවලට ඒ ස්වරයෙන්ම නිසි උත්තර ලැබෙවිට යටි ගිරියෙන් කෑ ගසා පලක් නැති බවය.
දැන් දියත් වී ඇති සමහර ෆේස්බුක් කැම්පේන්වලට අනුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස ලබන පඩිය රාජ්‍ය මුදල් අවභාවිතයක් වන්නේ කෙසේදැයි ප්‍රශ්න කෙරෙන්නේය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපති රංග දිසානායකට “පුලුවන් දෙයක් කරපන්… අපි බලාගෙන ඉන්නේ” ආකාරයෙන් ගේම ඉල්ලමින් සිටින්නේය.
මතුවෙමින් ඇති බරපතල ගෝසාව තුළ පෙනී යන එකම කාරණාව නම් රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපොළ පුද්ගලික හා දේශපාලන අරමුණු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන කථිකාවේ තවත් පොඩි කෑල්ලක් කරලියට ඇවිත් ඇති බවය.
දැන් මේ පැටලවිල්ල ලිහා ගත යුතුය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සහ විශේෂ ව්‍යාපෘති අංශයේ අධ්යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර අත් අඩංගුවට පත් වූයේ ඇයි?. මේ සිදුවෙමින් ඇත්තේ දේශපාලන දඩයමක් ද?. ඔවර් ඇක්ටිං කරමින් විහිලු සැපයූ විකටයෙකුගෙන් ආතල් එකක් ගන්නවා විනා ඔහුව දඩයම් කිරීමේ අපරාධය සිදුකර ආතල් කඩා ගත යුතු ද?. කතාව ඇත්තේ වෙනත් තැනකය.
දේශපාලන අරමුණු සඳහා රාජ්‍ය යාන්ත්‍රණය යොදාගැනීම
ජනාධිපති කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අංශය යනු ජාතික සංවර්ධනය හෝ රාජ්‍ය සේවය සඳහා පවත්වාගෙන ගිය ආයතනයක් යැයි බැලූ බැල්මට පෙනුණද, එහි අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය ඊට හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගෙන තිබිණි. 2023 වසරේ එම අංශයේ වාර්ෂික ක්‍රියාකාරි සැලැස්මෙහි සඳහන් පරිදි, එහි මූලිකම අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන්, පක්ෂයේ සංවිධායකයන් සහ එහි වෘත්තීය සමිති නියෝජිතයන් සම්බන්ධීකරණය කිරීමය.
මේ අනුව, 137 දෙනෙකුගෙන් යුත් සමස්ත කාර්ය මණ්ඩලයම රාජ්‍ය සේවයට වඩා පක්ෂ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාත්මක වූ බව මේ සම්බන්ධව විමර්ශනය කළ විමර්ශකයින්ට පැහැදිලි වී තිබිණි. මෙම කාලසීමාව තුළ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය යටතේ විශේෂ ව්‍යාපෘති අංශය වෙනුවෙන් රුපියල් 240,976,291 ක දැවැන්ත මුදලක් වියදම් කර ඇති බව අනාවරණය විය. රාජ්‍ය අරමුදල් මෙලෙස පක්ෂ දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම රාජ්‍ය මුදල් අයථා පරිහරණයක් ලෙස විගණනය මගින් හඳුනාගෙන තිබිණි.
වාහන සහ ඉන්ධන අවභාවිතය:
විශේෂ ව්‍යාපෘති අංශයට අනුයුක්ත කර තිබූ වාහන 16 ක් සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීම්වලින් මූල්‍ය වංචාවන්ගේ තවත් පැතිකඩක් නිරාවරණය වී තිබිණි. ඉන් වාහන 9 ක් නිලධාරීන් සඳහාත්, ඉතිරි වාහන සංචිතය සඳහාත් වෙන් කර තිබුණි. මෙම සංචිත වාහන සඳහා සතියකට රුපියල් 165,000 සිට රුපියල් 265,000 දක්වා ඉන්ධන කූපන්පත් නිකුත් කර තිබූ අතර, මේවා සැබවින්ම රාජකාරි සඳහා භාවිතා වූ බවට කිසිදු සාක්ෂියක් හෝ තොරතුරක් නොතිබිණි. මෙම කූපන්පත්වල සමස්ත වටිනාකම රුපියල් 18,680,000 ක් තරම් ඉහළ අගයක් වූයේය.
තවද, CAU 0786 දරණ Mercedes Benz රථය සම්බන්ධයෙන් එල්ල වී ඇත්තේ බරපතළ චෝදනාවකි. එම රථය සඳහා දින කිහිපයක ධාවන සටහන් පමණක් තබා ඇති අතර, ඉතිරි කාලය තුළ ධාවන සටහන් නොමැතිව රථය භාවිතා කර ඇත. 2022 අගෝස්තු සිට 2024 ඔක්තෝබර් 23 දක්වා එම රථය රාත්‍රී කාලයේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ ගාල් කර නොමැති අතර, ඒ සඳහා අවසරයක් ද ලබාගෙන නොමැත.
මෙම ක්‍රියාව හරහා ඩීසල් ලීටර් 2311 ක් අයථා ලෙස පරිභෝජනය කර ඇති බව රාජ්‍ය විගණනය තහවුරු කර ඇත. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති නමුත් විමර්ශන තවමත් අවසන් වී නොමැත. එසේම, WP CAC-4469 දරණ AUDI වර්ගයේ රථය සඳහා නඩත්තු වියදම් වශයෙන් රුපියල් 905,953 ක මුදලක් ද වැය කර ඇත.
විදේශ සංචාර සහ වැටුප් දීමනා
සුගීෂ්වර බණ්ඩාර 2022 සිට 2024 දක්වා අවස්ථා 08 කදී නිසි අනුමැතියකින් තොරව විදේශගත වී ඇති බව අනාවරණය විය. මෙසේ විදේශගත වූ කාලසීමාවන් සඳහා නිවාඩු අනුමත කර නොතිබුණද, ඒ සියලු කාලසීමාවන් සඳහා ඔහු රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වැටුප් සහ දීමනා ලබාගෙන තිබිණි.
ඔහු දැරූ තනතුරු සහ ලබාගත් මුදල් පිළිබඳ දත්ත දෙස බැලීමේදී ඔහුගේ මූල්‍ය ප්රතිලාභ ඉහළ මට්ටමක පවතින බව පෙනුණි.
- පෞද්ගලික ලේකම් (11.19 – 2022.07.13): රුපියල් 6,051,790 ක්.
- හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් (07.14 – 2024.02.21): රුපියල් 1,933,065 ක දීමනාවක්.
- විශේෂ ව්‍යාපෘති අංශයේ අධ්යක්ෂ ජනරාල් (07.25 – 2024.09.22): රුපියල් 4,226,884 ක වැටුප් හා දීමනා.
- මීට අමතරව, ඔහු යටතේ සේවය කළ 135 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය සඳහා රුපියල් 170,692,607 ක වැටුප් හා දීමනා ගෙවා ඇත.
අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති සත්‍යය
සුගීෂ්වර බණ්ඩාර සම්බන්ධයෙන් පැන නගින ප්රශ්නය වන්නේ “ඔහු අත්අඩංගුවට ගන්නේ ඇයි?” යන්නය. ඔහුව අත් අඩංගුවට පත් වන්නේ රාජ්‍ය දේපොළ අයුතු ලෙස පරිහරණය කිරීම, ඉන්ධන සහ වාහන වංචා කිරීම, අනුමැතියකින් තොරව රාජ්‍ය දීමනා ලබා ගැනීම සහ රාජ්‍ය අරමුදල් දේශපාලන අරමුණු වෙනුවෙන් සෘජුවම වැය කිරීම යන බරපතළ නීතිමය කරුණු පදනම් කරගත් විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය.
විගණන වාර්තා සහ සනාථ කළ හැකි සාක්ෂි මගින් මෙම මූල්‍ය අවභාවිතයන් තහවුරු වන බැවින්, නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන මෙම කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබේ.
ප්රශ්නය තමන් ලඟට එන බව දන්නවා නම් පූර්ව ප්‍රතික්‍රියා සිදුවීම පිලිගත හැකිය. එසේ නොමැතිනම් කිසිවෙක් ඒ තරම් දුරට කලබල විය යුතු නැත.








