කපිල කේ හීනටියන –
කොළඹ ආරක්ෂක සමුළුව (Colombo Security Conclave) ජාත්‍යන්තර සංවිධානයක තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බවත්, එහි ප්‍රථම මහලේකම්වරයා ලෙස ඉන්දීය ජාතිකයෙකු පත් කිරීමට නියමිත බවත් ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පවසයි.
ඊයේ (19) කොළඹදී මාධ්‍ය අමතමින් විදේශ ලේකම්වරයා සඳහන් කළේ විවිධ රටවල ජාතික ආරක්ෂක උපදේශකයින් සහ ඔවුන්ගේ නියෝජිතයන් සමඟ පවත්වන ලද සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණයට එළඹ ඇති බවයි. මේ සම්බන්ධයෙන් අවශ්‍ය එකඟතාවලට දැනටමත් එළඹ ඇති අතර, සංවිධානයේ ස්ථිර මූලස්ථානය පිහිටුවන ස්ථානය පිළිබඳව අවසන් තීරණයක් ඉදිරියේදී ගැනීමට නියමිතය.
සමස්ත සාමාජික රටවල එකඟතාවය මත ප්‍රථම මහලේකම්වරයා ලෙස ඉන්දීය ජාතිකයෙකු පත් කිරීමට නියමිත අතර ඒ සඳහා වන අනුමැතිය ලබා ගැනීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී. මෙම පියවර හරහා ඉන්දීය සාගර කලාපය කේන්ද්‍ර කරගත් කොළඹ ආරක්ෂක සමුළුවේ සාමාජිකත්වය දරන සියලුම රටවලට විශාල ප්‍රතිලාභ රැසක් හිමිවන බවද වික්‍රම් මිස්රි වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
Just in: Foreign secretary Vikram Misri says Colombo Security Conclave will be given the status of an international organisation, with an Indian national as its first secretary General. HQs agreement under process. pic.twitter.com/1ro9qNrpQ5
— Sidhant Sibal (@sidhant) April 19, 2026
කොළඹ ආරක්ෂක සමුළුව යනු කුමක් ද?
ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය තහවුරු කිරීමේ අරමුණින් 2011 වසරේදී ආරම්භ කරන ලද ‘කොළඹ ආරක්ෂක සමුළුව’, වර්තමානය වන විට දකුණු ආසියානු කලාපයේ වඩාත් ක්‍රියාකාරී ආරක්ෂක යාන්ත්‍රණයක් බවට පත්ව තිබේ. ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් තුනෙහි ජාතික ආරක්ෂක උපදේශක මට්ටමේ එකඟතාවයකින් මෙය ආරම්භ වූ අතර, පසුව මුරුසිය ද මෙහි පූර්ණ සාමාජිකත්වය ලබා ගත්තේය. මීට අමතරව බංග්ලාදේශය සහ සීෂෙල්ස් රාජ්‍යය මෙහි නිරීක්ෂක රටවල් ලෙස කටයුතු කරයි.
මෙම සංවිධානය ප්‍රධාන වශයෙන් කුළුණු පහක් (Five Pillars) යටතේ සිය මෙහෙයුම් සහ සහයෝගීතාව ක්‍රියාත්මක කරනු ලබයි:
- සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය: ඉන්දීය සාගරයේ නාවික ගමන් මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීම සහ සාගර සම්පත් සුරැකීම.
- ත්‍රස්තවාදය සහ අන්තවාදය මර්දනය: කලාපීය වශයෙන් පවතින ත්‍රස්තවාදී තර්ජන හඳුනා ගැනීම සහ ඒවා මැඩලීමට බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම.
- ජාවාරම් සහ දේශසීමා අපරාධ පාලනය: මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරම සහ මුහුදු කොල්ලකෑම් වැළැක්වීම සඳහා ඒකාබද්ධ මෙහෙයුම් දියත් කිරීම.
- සයිබර් ආරක්ෂාව සහ තාක්ෂණික සහයෝගීතාව: විවේචනාත්මක යටිතල පහසුකම් ආරක්ෂා කිරීම සහ සයිබර් තර්ජන හමුවේ තාක්ෂණික දැනුම බෙදා ගැනීම.
- මානුෂීය ආධාර සහ ආපදා සහන: ස්වභාවික ආපදාවලදී කලාපයේ රටවල් අතර කඩිනම් සහයෝගීතාවයක් ගොඩනැගීම.
මෑත කාලීනව මෙම සංවිධානය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට තීරණය කිරීම පිටුපස ඇති ප්‍රධානතම හේතුව වන්නේ, ඉන්දීය සාගරය තුළ භූ-දේශපාලනික තරඟකාරිත්වය ඉහළ යාමයි. විශේෂයෙන්ම කලාපීය නොවන බලවතුන්ගේ බලපෑම් හමුවේ, කලාපයේ රටවල් එකම ආරක්ෂක රාමුවක් තුළ කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඉන්දියාව ඇතුළු සාමාජික රටවල් අවධාරණය කර ඇත. ලේකම් කාර්යාලයක් පිහිටුවීම සහ මහලේකම්වරයෙකු පත් කිරීම හරහා මෙම සමුළුව හුදු සාකච්ඡා මණ්ඩපයකින් ඔබ්බට ගිය, නීතිමය බලයක් සහිත තීරණ ගත හැකි ස්වාධීන ආයතනයක් බවට පත්වනු ඇත.
නාමයෙන් ‘කොළඹ’ වුවත් තීරණ ඉන්දියාවෙන්ද?
. මෙම සංවිධානය ‘කොළඹ ආරක්ෂක සමුළුව’ (CSC) ලෙස නම් කර තිබුණද, එහි ව්‍යුහාත්මක සහ ක්‍රියාකාරී මෙහෙයුම් කේන්ද්‍රස්ථානය ලෙස ආරම්භයේ සිටම ප්‍රධාන භූමිකාවක් ඉටු කළේ ඉන්දියාවය. ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් මෙම සංවිධානය පිහිටුවා තිබුණ ද සංවිධානයේ ඉදිරි ගමන පිළිබඳ තීරණාත්මක නිවේදන ඉන්දීය බලධාරීන් විසින්ම නිකුත් කිරීම හරහා ඔවුන් මෙහි උපායමාර්ගික පාලනය ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක කාර්යාලය (NSA) මගින් සිදුකරන බව සන්නිවේදනය කර ඇත.
විශේෂයෙන්ම 2024 අගෝස්තු මාසයේදී කොළඹදී අත්සන් කරන ලද ‘CSC ප්‍රඥප්තිය’ මගින් මෙම එකමුතුව විධිමත් ජාත්‍යන්තර ආයතනයක් බවට පත් කිරීමට මඟ පෑදුනි. එහි මූල්‍ය සහ පරිපාලනමය ශක්තිය ඉන්දියාව විසින් සැපයීම මෙම ‘නායකත්ව අධිකාරියට’ මූලික හේතුව වී ඇති අයුරු දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති
ද්විපාර්ශ්වික හෝ කලාපීය ආරක්ෂක එකඟතා බොහෝ විට ප්‍රකාශයට පත් කෙරෙන්නේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සියලු අත්සන් තැබීම් අවසන් වූ පසුවය. එහෙත් ඉන්දීය විදේශ ලේකම්වරයා කොළඹට පැමිණ මෙම නිවේදනය සිදු කිරීම සුවිශේෂී වේ. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක සත්කාරක රට ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය හරහා හෝ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් විය යුතු වුවත්, ඉන්දියාවේ ‘කලාපීය ආරක්ෂක සැපයුම්කරු’ (Net Security Provider) යන ප්‍රතිපත්තිය හමුවේ ඔවුන් තීරණාත්මක නිවේදනවල පූර්ණ බලය නතු කරගෙන ඇති ආකාරය දේශපාලන නිරීක්ෂකයින්ගේ අවධානයට ලක් වි තිබේ.
මෙම තත්ත්වය හුදු තොරතුරු දැනුම් දීමකට වඩා ඉන්දීය සාගරයේ ආරක්ෂක නායකත්වය සහ ඒ මත පවතින අධිකාරී බලය ප්‍රදර්ශනය කිරීමක් ලෙස ඇතැම් විශ්ලේෂකයෝ දකිති. ශ්‍රී ලංකාව වැනි රටක් තම භූමිය තුළදීම මෙවැනි තීරණාත්මක රාජ්‍ය තාන්ත්‍රික ප්‍රකාශයන් පාලනය කිරීමට අපොහොසත් වීම, ජාත්‍යන්තර දේශපාලනය තුළ රටේ ‘සම තත්ත්වයෙන් ගනුදෙනු කිරීමේ’ (Parity of status) හැකියාව පිළිබඳ ප්‍රශ්නාර්ථයක් මතු කරන්නක් බව පෙනේ. මෙමගින් ගම්‍ය වන්නේ කලාපීය ආරක්ෂක යාන්ත්‍රණයන් තුළ ශ්‍රී ලංකාවේ භූමිකාව සත්කාරකත්වයට පමණක් සීමා වී ඇති අතර, එහි ප්‍රතිපත්තිමය නායකත්වය සහ තීන්දු තීරණ ගැනීමේ බලය අසල්වැසි ඉන්දියාව සතු වී ඇති බවට වන යථාර්ථය ය.
මෙරට විදේශ ප්‍රතිපත්තිය සෘජු හා ස්වාධීන මාවතකින් බැහැර වීමට මූලිකවම බලපා ඇත්තේ ශ්‍රී ලංකාව වර්තමානයේ පසුවන දැඩි ආර්ථික පරාධීනත්වයයි. විශේෂයෙන්ම 2024 වසර වන විට ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ඉන්දියාවෙන් ලැබුණු ඩොලර් බිලියන 4කට අධික මූල්‍ය සහය සහ සහතික කිරීම් මත දැඩිව යැපීමට සිදු වූ අතර, එමගින් මෙරට රාජ්‍ය තාන්ත්‍රික තීරණ ගැනීමේ අවකාශය පටු වී ඇත. “ඉන්දියාව පළමුව” (India First) යන ප්‍රතිපත්තියට අනුගත වීමට ශ්‍රී ලංකාවට සිදු වී ඇත්තේ මෙම මූල්‍ය අනුග්‍රහය සහ කලාපීය බලපෑම හමුවේය. කොළඹ ආරක්ෂක සමුළුවේ ප්‍රඥප්තියට අත්සන් තැබීමේදී පවා, කලාපීය ආරක්ෂක නායකත්වය ඉන්දියාව වෙත පැවරීමට එකඟ වීම හරහා ගම්‍ය වන්නේ, ජාත්‍යන්තර දේශපාලනයේදී ස්වෛරී රාජ්‍යයකට හිමි විය යුතු ‘සම තත්ත්වයෙන් ගනුදෙනු කිරීමේ’ (Parity of status) හැකියාව ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගොස් ඇති බවයි. තමන්ගේම භූමිය තුළ සිදුවන තීරණාත්මක නිවේදනයක් පවා දේශීය බලධාරීන්ට ප්‍රකාශ කිරීමට නොහැකි වන තරමට මෙම රාජ්‍ය තාන්ත්‍රික අදීනත්වය දුර්වල වී තිබීම, රටක් ලෙස ආර්ථික හා උපායමාර්ගික වශයෙන් අන්‍යෝන්‍ය වශයෙන් පරාධීන වීමේ අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස හඳුනාගත හැකිය
ගිලිහී යන රාජ්‍ය තාන්ත්‍රික අදීනත්වය
මෙරට විදේශ ප්‍රතිපත්තිය සෘජු හා ස්වාධීන මාවතකින් බැහැර වීමට මූලිකවම බලපා ඇත්තේ ශ්‍රී ලංකාව වර්තමානයේ පසුවන දැඩි ආර්ථික පරාධීනත්වය ය. ආර්ථිකව පරාධීනවන ඕනෑම සමාජයක මුලින්ම යටපත් වන්නේ අනන්‍යතා ලකුණුය.
විශේෂයෙන්ම 2024 වසර වන විට ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ඉන්දියාවෙන් ලැබුණු ඩොලර් බිලියන 4කට අධික මූල්‍ය සහය සහ සහතික කිරීම් මත රටට දැඩිව යැපීමට සිදුවිය. එමගින් මෙරට රාජ්‍ය තාන්ත්‍රික තීරණ ගැනීමේ අවකාශය පටු වී අතිශයින්ම පටු වූයේය. “ඉන්දියාව පළමුව” (India First) යන ප්‍රතිපත්තියට අනුගත වීමට ශ්‍රී ලංකාවට සිදු වී ඇත්තේ මෙම ආර්ථික යැපීම් සහ කලාපීය බලපෑම හමුවේය. මේය ලෝක දේශපාලනයේ යථාර්ථයට එකඟ බව මේ වනවිට ලෝකය තුළ පෙළගැසෙමින් ඇති සිද්ධි පසක් කර ඇත.







