බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය හෙට සිල්හෙට්හිදී ආරම්භ වේ. ශ්‍රී ලංකා පිලට නායක වනිඳු හසරංග නැත. පෙබරවාරි 21 වැනිදා ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති තෙවැනි විස්සයි20 තරගයේදී විනිසුරු ලින්ඩන් හැනිබල් සමඟ ඇති වූ බහින්බස්වීමේ දඬුවම ලෙස ICC ඔහුට තරග දෙකක් තහනම් කළේය. බලාපොරොත්තු සහිත ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකත් නැත. ඔහු විවේක ගන්වා ය. නිශ්ශංක ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තුන්වන සහ අවසන් විස්සයි20 තරගයේදී ඇතිවූ ආබාධයකින් සුවය ලබමින් සිටියි. ආරම්භයේම කණ්ඩායම පාඩු පිටය.
කණ්ඩායම මෙහෙයවන්නේ චරිත් අසලංක ය. කණ්ඩායම මෙහෙයවන අසලංකට තරගාවලියක් ගොඩදමා ගැනීමට නායකයෙක් නම් අවශ්‍ය නැත. ඒත් ඔහුට කණ්ඩායමේ සිටින හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයා වූ වනිඳු හසරංග නැත.
හසරංග ඇෆ්ගනිස්තානයට එරෙහිව පසුගියදා පැවති T20 තරඟාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා ය. පළමු එක්දින තරඟයේ දී තරඟ ජයග්‍රාහී ලකුණු 67 ක් ඇතුළුව ලකුණු 102 ක් ඔහු ලබා ගත්තේය. ඕවර 12 කදී ලකුණු 74 කට කඩුලු 4ක් බිඳ හෙළුවේය.
හසරංග ආවරණය කරගැනීම සඳහා අසලංකට තේරිම් කමිටුව ලබා දී තිබෙන්නේ වසර දෙකකට පෙර අවසන් වරට විස්සයි 20 තරගයක් ක්‍රීඩා කළ ජෙෆ්රි වැන්ඩර්සේය. වැන්ඩර්සේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් නොවේ. ඉදිරිපෙළ දඟ පන්දු යවන්නෝ ලෙස අකිල ධනංජය සහ මහීෂ් තීක්ෂණ සිටිති. අකිල ධනංජයට දඟ පන්දුව වැඩ කරන්නට වැඩිපුර වාසනාවත් ඕනෑය. එතනත් අවුලකි.
පැතුම් නිශ්ශංක එක්දින තරගයක ද්විත්ව ශතකයක් වාර්තා කළ ශ්‍රී ලංකාවේ පළමු සහ එකම පිතිකරුය. ඔහුට විස්සයි 20 තරඟාවලිය අහිමි වුවද, විස්සයි 20 ජාත්‍යන්තර තරඟාවලියෙන් පසුව පැවැත්වෙන ජාත්‍යාන්තර එක් දින තරඟාවලිය සඳහා ඔහු සංචිතයට එක්වීමට ඉඩ තිබේ.
“ඔහු මේ මොහොතේ අපේ හොඳම පිතිකරුවා. මෙවර ලෝක කුසලාන තරගාවලියකට යන බැවින් ඔහුව නිසි ලෙස කළමනාකරණය කළ යුතුයි,” තේරීම් කමිටු සභාපති උපුල් තරංග මාධ්‍යයට පවසා තිබිණි.
“ඔහු එක්දින තරඟ සඳහා සූදානම් වනු ඇති, නමුත් ඔහුව ටෙස්ට් තරඟාවලියට ක්‍රීඩා කරවීමට අවශ්‍යද යන්න අපි මේ මොහොතේ සාකච්ඡා කරමින් ඉන්නවා.”තරංග තවදුරටත් කිවේය.
නිශ්ශංක 2022 ජූලි මාසයේ සිට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර නැත, මන්ද ඔහුගේ කොන්දේ ආබාධයකින් පසු පැතුම්ගේ වැඩ බර කළමනාකරණය කර ගැනීම සඳහා දිගු ආකෘතියෙන් ඉවත් කිරීමට තේරිම් කමිටුව කටයුතු කළ බැවිනි.
“ඔහු දිගු ඉනිමක් ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයෙක්. නමුත් ලෝක කුසලානයකට පෙර ඔහුගේ කාර්ය භාරය කළමනාකරණය කර ගත යුතුයි. ඔහු T20 කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙක්,” තරංග පැහැදිලි කළේය.
මෙයින් අදහස් කරන්නේ සීමිත පන්දුවාර තරගාවලිය අවසානයේ ආරම්භ වන බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහාත් නිශ්ශංක විවේක ගැන්වීමට ඉඩ ඇති බවය.
නිශ්ශංක වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු විස්සයි20 කණ්ඩායමට කැඳවා තිබේ.
බංගලාදේශයෙන් ලැබෙන වාර්තාවලට අනුව, සිල්හෙට් වෙත පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සිකුරාදා සිය පුහුණුවීම් ආරම්භ කර තිබිණි. තරංග කණ්ඩායම ගැන කතා කරන්නේ විශ්වාසයෙනි.
“පසුගිය තරඟ දෙකේදී ඔවුන් ඔවුන්ගේ කටයුතු කරගෙන ගිය ආකාරය ගැන අපි ඇත්තටම සතුටු වෙනවා. නමුත් ඔවුන් එය ස්ථාවරව කළ යුතුයි,” තරංග කියන්නේය.
“පිතිකරණය, පන්දු යැවීම සහ පන්දු රැකීම යන ක්‍රී පැති තුනේම වැඩිදියුණු වීමට තවමත් ක්‍රීඩකයින්ට ඉඩ තියනවා. ඔවුන් ඔවුන්ගේ පන්දු රැකීමේ විශාල දියුණුවක් පෙන්නුම් කර තිබුණා. කණ්ඩායමට තරඟකාරී වාසියක් ලබා දීම සඳහා ඔවුන්ට එය මනාව කළමනාකරණය කරගත යුතුයි.” තරංග පැහැදිලි කළේය.
සංචාරයේ ආරම්භ වන්නේ විස්සයි20 තරග තුනකින් යුත් තරගාවලියෙනි. එම තරග මාර්තු 4, 6 සහ 9 යන දිනවල සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එක්දින තරඟාවලිය මාර්තු 13, 15 සහ 18 යන දිනවල Chattogram හි Zahur Ahmed Chowdhury ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
2023-25 ICC ලෝක ටෙස්ට් ශූරතා චක්‍රයේ කොටසක් වන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ තරග දෙක මාර්තු 22 සිට 26 දක්වා Sylhet හිදීත් මාර්තු 30 සිට අප්‍රේල් 3 දක්වා Chattogram හිදීත් පැවැත්වේ.
බංගලාදේශ කණ්ඩායමේ අලිස් ඉස්ලාම් ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් කර තිබේ.
දැනට පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් T20 තරඟාවලියේ ඔහුගේ දක්‍ෂතාවය වෙනුවෙන් අලිස් ජාතික තේරීම් මණ්ඩලයේ අවධානයට ලක් වී තිබිනි. එහිදී ඔහු අභිරහස් දඟ පන්දු යවන්නෙකු ලෙස ඉස්මතු විය. තරුණ පන්දු යවන්නා 2019 දී ඩකා ඩයිනමයිට්ස් වෙනුවෙන් ඔහුගේ පළමු BPL තරඟයේදීම ත්‍රිත්ව ත්‍රිත්වයක් ලබාගෙන තිබුණි.
ශ්‍රී ලංකා සංචිතය: වනිඳු හසරංග (අවසන් තරගයේ නායකයා), චරිත් අසලංක (පළමු තරග දෙකේ නායකයා), කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහේෂ් තීක්ෂණ, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, ඩිල්ෂාන් මධුශංක, නුවන් තුෂාර, මතීෂ පතිරණ, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ
බංගලාදේශ සංචිතය: නජිමුල් හොසෙයින් ෂැන්ටො (නායක), ලින්ටන් දාස්, අනාමුල් හක් බිජොයි, මොහොමඩ් නයිම් ෂෙයික්, ටවිඩ් හ්‍රිඩොයි, සෞම්‍යා සර්කාර්, මහමුද් උල්ලාහ්, ටජිමුල් ඉස්ලාම්, රිෂාඩ් හොසයින්, ටස්කින් අහමඩ්, රිෂාඩ් හොසයින්, ටක්සින් අහමඩ්, ටැන්සිම් හසන් සකිබ්, ඇලිස් අල් ඉස්ලාම්







