තරගාවලිය නිමා වී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ පරදවා 2-1 ක තරගාවලි ජයක් අත් කරගෙන තිබේ.
තුන්වන විස්සයි 20 තරගය ආර්.ප්‍රේමදාස පිටියේ පැවැත්වුනේය. කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීම තේරූහ. තරගයක් තිබුණේම නැත. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 09ක විසාල ජයග්‍රහණයක් අත් කරගත්තේය.

සිම්බාබ්වේ කණ්ඩායමේ සියල්ලෝම ලකුණු 82කට සියල්ලෝ දැවී ගියහ. ඒ පන්දු ඕවර14.1 තුළය. නායක වනිඳු හසරංග පන්දු ඕවර 04 තුල ලකුණු 15කට කඩුළු 04ක් ලැබුවේය. මහීෂ් තීක්ෂණ පන්දු ඕවර 3.1කට කඩුළු 2කි. ඈන්ජලෝ මැතිව්ස් පන්දු ඕවර 2ක් යවා ලකුණු 15කට කඩුළු 02කි. ඩිල්ෂාන් මධුශංක පන්දු ඕවර 2ක් යවා ලකුණු 22කට කඩුල්ලකි.
සිම්බාබ්වේ කණ්ඩායමේ බ්‍රයන් බෙනට් ලකුණු 29ක් ලැබුවේය. ඒ පන්දු 12ක් තුළය. ඊට හතරේ පහර 7ක් ඇතුළත් විය. ඔහු කඩුළු අතර දුවමින් ලබා ගත්තේ එක් ලකුණක් පමණි. කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා ඔහුය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළේය. ජයග්‍රහණය සනිටුහන් කරන්නේ හයේ පහරකිනි. ඒ පැතුම් නිශ්ශංක ගේ පිත්තෙනි.
කුසල් මෙන්ඩිස් ශේන් විලියම්ස්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටී ලකුණු 33කට දැවී ගියේය. ඔහු හතරේ පහර 4ක් සහ හයේ පහරක් එල්ල කළේය. පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 39ක් ද ධනංජය ද සිල්වා නොදැවි ලකුණු 15ක් සහිතව තරගය නිමා කළේය. ඒ පන්දු ඕවර 10.5කිනි. තරගයේ වීරයා වනිදු හසරංග ය. තරගාවලියේ විරයා ඈන්ජලෝ මැතිව්ස්ය.
මුළු තරගයම පන්දු ඕවර 25කි. දෙපිලම ලබා ගත්තේ ලකුණු 170කි. ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර විස්සයි විස්ස ඉතිහාසය තුළ වාර්තාගත වූ අඩුම ලකුණු සංඛ්‍යාව මෙයය.
අද ජයග්‍රහණය ලැබූ කණ්ඩායම පිළිබඳ පුදුම හිතෙන්නේ පෙරේදා තරගය පරාජය වූ ආකාරය දකින විටය. පෙරේදා ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම අද කොහේදැයි සිතුනේය.
ඇත්ත වශයෙන්ම අවුල මෙයය. මේ කණ්ඩායම් දෙකම සිටින්නේ එකම අවුලකය. ඒ ස්වකීය දක්ෂතා සන්තතියක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යෑමට නොහැකී විමය. සුලු සුලු උච්ඡාවචන පිළිගත හැකිය. එහෙත් අපාගත වූවාක් බඳු ඇදවැටීම් මෙන්ම අභ්‍යාවකාශය තෙක් ඉහළට එසවී යෑම් කියන්නේ ඉතාම සරල කතාවකි. එනම් මේ මොහොතේ පවතින අන්තර් ජාතික තලයේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩවට මේ කණ්ඩායම් දෙකම නොගැලපෙන බවය. ඔවුන්ගේ ක්‍රිකට් පුනරුත්ථාපනය විය යුතු බවය.
අස්වයන් දුවවනාවක් බඳු දිනන්නේ මොකා ද පරදින්නේ මොකාද, අද මොකා මොනවා කරයි ද යන විචිකිච්ඡාවක් සමග ක්‍රිකට් ගැහිල්ලත් වාසනාවට දිනන සූදුවක් වැනි හැඟීමක් ක්‍රීඩා ලෝලීන්ට ලබා දිමම පවකි. ආවේ ලක්ෂ 200ක් වෙනුවෙන් ක්‍රිකට් ගසන්නට නම් අපහසුතා සහ අඳෝනා කියා පළක් නැත.
පිළිගත හැකි ක්‍රිකට් ක්‍රීඩාවක් කළ යුතුය. පරදිනවා නම් පිළිගත හැකි ලෙස පැරදිය යුතුය. එක් දවසක කුජීත ලෙස පරදින්නත් අනෙක් දවසේ හිතා ගත නොහැකි සේ ජය ගන්නත් හේතුව විමසිය යුත්තේ මේ අන්ත දෙක අතර පරතය වැඩි වන තරමට බොහෝ විනාශයන් වන්නට හැකි බැවිනි.







