පන්දුවාර 20 යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ බංගලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ඊයේ (29) පැවති තරගයකින් බංග්ලාදේශය පරදා ලකුණු 03ක තියුණු ජයක් අත්කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වෝ සමත් වූහ.
කාසියේ වාසිය ලබා ගත්තේ බංගලාදේශ කණ්ඩායමය. ඔවුහු පන්දු රැකීමට තීරණය කළහ.

සාජාහිදී පැවැත්වූ මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 20ක් තුළ කඩුලු 07ක් දැවී රැස් කරගත්තේ ලකුණු 142කි. රොස්ටන් චේස් ලකුණු 39ක් රැස් කළේය. ඒ පන්දු 46ක දීය. නිකොලස් පුරාන් පන්දු 22ක දී වේගවත් ලකුණු 40ක් රැස් කළේය. ජේසන් හෝල්ඩර් අවසන් පන්දුවාරවල දී පිටියට පැමිණ පන්දු 05ක දී ලකුණු 15ක් රැස් කළේය.
පන්දු යැවීමේ දී මේදි හසන්, මුස්ටාෆිසුර් රහුමාන් , ෂොරිෆුල් ඉස්ලාම් කඩුලු 02 බැගින් බිඳ හෙළුවේය.
මෙතෙක් මෙම තරගාවලියේ ජයග්‍රහණයේ වැඩි වාසිය ලබා ගත්තේ හඹා යන්නන්ය. බැලූ බැල්මට මේ ඉලක්කය බංගලාදේශ කණ්ඩායමට පහසු එකක් වනු ඇතැයි සිතිනි.
නමුත් බටහිර ඉන්දීය කොදෙව්වො මෙතෙක් ගලාගෙන පැමිණි ජයග්‍රහණයේ රිද්මය වෙනස් කළහ. පන්දු යවන්නන් මෙන්ම පිටියේ පන්දු රකින්නන්ද බංගලාදේශ කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළහ.
නියමිත පන්දුවාර විස්ස අවසානයේ දි බංගලාදේශ කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 05ක් දැවී ලකුණු 139ක් පමණි. පිට පිටම අත් විඳි පරාජයේ අමිහිරි රැල්ලෙන් ගොඩ එන්නට බටහිර ඉන්දීය කොදෙව්වන්ට හැකි විය.
ලින්ටන් දාස් පන්දු 43ක දී ලකුණු 44ක්, මහ්මුදුල්ලාහ් පන්දු 24ක දී ලකුණු 31 රැස් කළේය. බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් පන්දු යැවූ පන්දු යවන්නන් පස් දෙනා වූ රවි රම්පාල්, ජේසන් හෝල්ඩර්, ඇන්ඩෘ රසෙල්, ඒකල් හොසෙයින්, ඩ්වයින් බ්‍රාවෝ කඩුල්ල බැගින් ලබා ගත්හ.
එමෙන්ම අද පකිස්ථානය සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරගයේ දී කඩුලු 05ක ජයක් ලබා ගැනීමට පකිස්තානු කණ්ඩායම සමත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානු කණ්ඩායම පන්දු ඕවර 20 අවසන දී කඩුලු 05ක් දැවී ලකුණු 147ක් ලබා ගත්තේය.
බිඳවැටී තිබුණු ඇෆ්ගනිස්තාන ඉනිම ගොඩගන්නේ නායක මොහොමඩ් නබි සහ ගුල්බාඩින් නබි විසිනි. ඔවුන් දෙදෙනා හත්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 71ක අඛණ්ඩ සම්බන්ධයක් ගොඩනැගූහ. දෙදෙනාම ලකුණු 35 ගැනි රැස් කළහ.
ඉමාඩ් වසීම් කඩුලු 02ක් ද, ෂහීන් ඇෆ්රිඩි, හැරිස් රවුෆ්, හසන් අලි, ශහාබ් ඛාන් කඩුල්ල බැගින්ද බිඳහෙළූහ.
එම ඉලක්කය පන්දු ඕවර 19ක දී කඩුලු 05ක් දැවී පකිස්තානුවන් පසු කර ගියේය. නායක බබාර් අසාම් පන්දු 47ක දී ලකුණ 51 රැස් කළේය. ෆකාර් සමාන් ලකුණු 30ක් ද, අසීෆ් අලි ලකුණු 25ක් ද පකිස්තානය වෙනුවෙන් රැස් කළහ. පන්දු ඕවර 19ක දී පකිස්තානුවෝ ඉලක්කය පසු කළහ. මුජීබ් උර් රහුමාන් කැපී පෙනෙන පන්දු යැවීමක් කරමින් පන්දු ඕවර 04 තුළ ලකුණු 14ක් ලබා දී කඩුලු 01 ලබා ගත්තේය. රෂීඩ් ඛාන්ට කඩුලු 02ක් හිමි විය. මොහොමඩ් නබී සහ නවීන් උල් හක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.







