ආණ්ඩුවේ පාලනයට යටත් විය යුතු ඇතැම් දේවල් එහි පාලනයෙන් ගිලිහී ඇති බවත් එලෙස සිදුවීමට ආණ්ඩුවේ යම් වරදක් ඇතැයි පිළිගන්නා බවත් සූර්යබල, සුළං, ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.
‘තෘත් විත් චමුදිත’ යූටියුබ් නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියාසිටියේ එවැනි දේ සිදුවීමට හේතුවී ඇත්තේ මාෆියාවක් නොව ‘ඒකාධිකාරය’ට යටවීමට සිදුවී ඇති නිසා බවය.
කිසියම් තැනක මාෆියාවක් ඇති නම් එය ‘ගහලා ඉවර කරන්න ඕනේ’ යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
ප්‍රශ්නය – මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියලා තිබුණා ඔහු හිටපු හිටපු හැම අමාත්‍යාංශයෙම මාෆියාවක් තියෙනවා කියලා. ඔබ පිළිගන්නවාද ? ඔබ ඉන්න විදුලිබල අමාත්‍යාංශයේ මාෆියාවක් තියෙනවා කියලා?
මම ඔය වචනයට කැමති නෑ. මාෆියාවක් තියෙන්නෙ කොහොමද ඇයි අපි මේ මාෆියාව කියන වචනයට මහා බරක් තියන්නේ.
අපි බලයට එන්නෙ, ඡන්දයක් තියලා ජනතාව ජනාධිපතිවරයෙක් හදන්නේ, ආණ්ඩු හදන්නේ මේ පුටුවේ වාඩි වෙලා, ආයෙ මේ මාෆියාව මාෆියාව ගැන කිය කිය ඉන්න ද? ඒක ගහලා ඉවර කරන්න ඕන.
ඉතින් ගහලා ඉවර කරන්නේ නෑනේ?
ඇයි බැරි. මේක ගහලා ඉවර කරන්න පුළුවන්.
හාල් පාලනය කරන්නේ ඩඩ්ලි. කිරිපිටි, සමාගම්?
මම හාල් ගැන කතා කරන්නේ නෑ. මම කතාකරන්නේ විදුලි බලෙත් මාෆියාවක් කියන එක ගැන සමහරු කතා කරනවා නේ.
මට ඔබතුමා එක උත්තරයක් දෙන්න ආණ්ඩුවේ පාලනේ තියෙන එක දෙයක් මොකක් හරි කියන්න?
නීත්‍යානුකූල විදිහට ගත්තොත් සියලු දේම ආණ්ඩුවෙන්නේ පාලනය කරන්නේ.
කරනවා…??
ඒකනෙ විය යුත්තේ. නොකරන එක ගැන මන් දන්නෑ.
සමහර කාරණා අපි අවංකම කතා කළොත් සමහර දේ්වල් ආණ්ඩුවේ පාලනෙන් ගිලිහිලා තියෙනවානේ. යම් වරදක් තියෙනවනේ. ඒකට හේතු තියෙනවා නේ. මොකද යම් තැනකට අපි හිර උනාට පස්සේ අපිට සමහර වෙලාවට වෙනවා, මෙන්න මේ කියන මාෆියාවටත් වඩා, ඒකාධිකාරය කියන එකට යටවෙන්න අපට සිද්ධ වෙලා තියෙනවා නේ. ඒ දේ බොහොම අවංකව අපි පිළිගන්න එපැයි.
පුනර්ජනනීය බලශක්තිය විෂය විදිහට මම කරන වැඩපිළිවෙල කවුරුහරි කවුරුහරි අසාධාරණ විදිහට විරුද්ධ වෙනවා නම්, කවුරු හරි කාගෙන් හරි ඒජන්තයෙක් විදියට වෙන්න පුළුවන්, කාගේ හරි නියෝජිතයෙක් විදියට වෙන්න පුළුවන්, යම්කිසි බලවේගයක් අපට විරුද්ධව හදනවා නම්, අපි මේ බලවේගේත් එක්ක හැප්පෙන්න ඕනේ. නැතුව යට වෙන්න බෑනේ. එහෙම නොවුණොත් වෙන්නේ මගේ දරුවන්ටත් ඇවිත් කියන්න වෙනවා මාෆියාවක් ගැන ආයෙ පාරක්.
අපි රටක් හදනවා නම් මේ සියල්ලම මේ සියලු බාධක අපිවත් කරගෙන යන්න ඕන. මම අතිගරු ජනාධිපතිතුමාට එක දවසක් කිව්වා ඔය සම්බන්ධව. ජනාධිපතිතුමා ඉදිරියේ කතා කළා මං මේ කියන ටෙන්ඩර් ක්‍රමය පිළිබඳව. මම ජනාධිපතිතුමාටත් කිව්වේ, මට මේක බාර දුන්නා නම් මට මේක හරියට කරන්න ඉඩ දෙන්න. මොකද මේකෙදි එක් එක්කෙනාට ඕනකමට එක එක්කෙනාට යටවෙලා, මේ පත්තරේ මටත් ගැහුවා කියලා හරි, පගාකාරයෙක් මොකක් හරි කිව්වා කියල හරි, වෙන මොකක් හරි චරිත ඝාතනයක් කළා කිව්වා හරි, මගේ ගමන මම නවත්තන්න සූදානම් නෑ. මොන අමාත්‍යාංශයට මොන ඇමතිය ආවත් මේ ටිකට මුහුණ දෙන්න වෙනවා.”
ඇමතිවරුන්ට වඩා රාජ්‍ය නිලධාරීන් දූෂිත යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරමින් කියාසිටියේ ය.







