අනාගතයක් නැති රටක ක්‍රිකට්වල පමණක අනාගතයක් බලාපොරොත්තුවීමේ ගොබ්බ කම නොකළ යුතු බවට අපේ ක්‍රිකට් පොඩි උන් අපට කියා දී ඇත.
ඩුබායිහි පැවැත්වෙන අසියානු කුසලාන 19න් පහල තරගාවලියේ දී බංගලාදේශ කණ්ඩායමටත් අප අන්ත අසරණ ලෙස පරාදය. පන්දු 55ක් ඉතිරිව තිබිය දී බංගලාදේශ තරුණයින් කඩුළු 06ක විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කරගෙන ඇත.
මේ තරගයේ හැම අංශයෙන්ම බංගලාදේශ යෞවනටයින් ඉදිරියෙන් සිටි ආකාරය දුටුවෙමු.
ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200කට සීමා විය. ඉනිම නිමා කළේ පරාජයේ අඳුරු සෙවනැලි දකිමිනි.
ආධුනික ජපන් කණ්ඩායමට එරෙහිව පමණක් ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා යෞවනයන්
පෙරේදා පැවති එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම හා තරගයේ දී 02කින් පැරදුනේය.
තරගය ආරම්භයේ සිට ශ්‍රී ලංකා යෞවනයන් මුලුමනින්ම පාලනය කිරීමට බංගලාදේශ කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ප්‍රමාණය ලකුණු 28කි. ඒ ආරම්භ පිිතිකරු පුලිඳු පෙරේරාගෙනි. රවිශාන් ද සිල්වා ලකුණු 21ක්, නායක සිනතේ ජයවර්ධන ලකුණු 25ක්, දිනුර කළුපහන ලකුණු 20ක්, රුසන්ද ගමගේ ලකුණු 24ක් කඩුළු රකින ක්‍රීඩක ෂරුජන් ෂන්මුගනාදන් ලකුණු 21ක්, විශ්ව ලහිරු ලකුණු 25ක් ලෙස ලකුණු ලබා ගෙන ඇත.
දැනෙන ලකුණක් තීරණාත්මක ජයග්‍රහණයක් කරා කැඳවාගෙන යන ලකුණක් එකම පිතිකරුවෙකුගෙන්වත් ලැබී තිබුණේ නැත. බංගලාදේශය වෙනුවෙන් වාසි සිද්දකී ලකුණු 32 කඩුළු 03ක්, මෆසුර් රහ්මාන් රබ්බි ලකුණු 40ට කඩුළු 02ක්, මාරුෆ් මීර්ධා ලකුණු 34ට කඩුළු 2ක් ලබා ගත්තේය. රොහනට් ඩුල්ලා බොර්සන් ලකුණු 40ට කඩුල්ලක්. ශෙයික් ප්‍රෙවොස් ගිබොන් ලකුණු 32ට කඩුල්ලක් ලබාගෙන තිබිණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි බංගලාදේශ තරුණයින්ගෙන් ප්‍රකට වූයේ සුපිරි අනාගතයක් සලකුණු පෙන්වන අංකුර ක්‍රීඩකයන්ගේ හැඩ රුවය.
බංගලාදේශ ආරම්භක පිතිකරු කඩුළු රකින ක්‍රීඩක අශිකුර් රහ්මාන් ශිබ්ලි විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 116ක් නොදැවී ලැබුවේය.
චොව්ඩුර් මිඩ් රිස්වාන් ලකුණු 32ක්, අහ්රාර් අමින් ලකුනු 23ක්, අරිෆුල් ඉස්ලාම් ලකුණ 18ක් ලැබුවේය.
බංගාලදේශ යෞවනයෝ පන්දු ඕවර 40.5ක දී ලකුණු 200 ඉලක්කය ඉක්මවා ගියහ. ඒ කඩුළු 06ක් ඇතැතිවය. ඉතාම පහසුවය.
ගරුක සන්කෙත් කඩුළු 02ක්, විශ්ව ලහිරු කඩුල්ලක් සහ මල්ෂ තරුපති කඩුල්ලක් ලැබුවේය.
කිසිම සටන්කාමී කමක් නැති ඕලාරික ක්‍රීඩාවකි.
ක්‍රිකට් වර්තමානය සම්බන්ධව කිසිම බලාපොරොත්තුවක් හෝ විශ්වාසයක් දැන් මේ රට තුළ නැත. කිසිම දෙයක් නොසපයා අපි අපේ දරුවන් වැනි පොඩිඋන්ගෙන් මේ රට අනාගත සුබ ලකුණක් අපේක්ෂා කරති. ඒ අපේක්ෂාව මේ පොඩි උන්ට බර වැඩිය. දැන් උන් අපට එය කියා ඇත. ආදර්ශ නැති වර්තමානයක ජීවත් වෙමින් අපිට මේ දරුවන්ගෙන් කුමක් බලා පොරොත්තු විය හැකි ද? එඬරු කැලෑවක මහා වනස්පතින් උපදින තෙක් බලා සිට පලක් නැත. එක එකාගේ පුද්ගලික ගේම් මිස ක්‍රිකට් දැන් මේ රටේ නැති බව රටක් ලෙස තේරුම් ගන්නවා හැරෙන්නට අපට කළහැකි දෙයක් නැත.
පුතේ… ක්‍රිකට් කෙරුවාව ඇති. උඹලා පරිස්සමින් ගෙදර ඇවිත් දන්න කරුමාන්තයක් කරගෙන අනාගතය හදා ගනිල්ලා…







