මේ කුමන ආකාරයේ කාලකණ්ණි කමක්දැයි කල්පනා කරමි. ගොඩඒම අසීරුය. දෙවැනි පුහුණු තරගයත් ඇෆ්ගනිස්ථානයට කඩුළු 06කින් පරාදය. ඇෆ්ගනිස්ථානය ඒ ජයග්‍රහණයේ ඉලක්කය පසු කළේ පන්දු 23ක් ඉතිරිව තිබෙද්දී ය.
අඛණ්ඩ එක්දින ජයග්‍රහණ සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම තැබූ ලෝක වාර්තාව නිමා වූයේ ආසියානු කුසලාන අවසන් මහා තරගයේ අන්ත කුජීත පරාජයක් සමගිනි. ඒ පරාජය සමග අඛණ්ඩ පරාජය ආරම්භ වූ සෙයකි.
ලෝක කුසලාන ආරම්භක පුහුණු තරගයෙන් ශ්‍රි ලංකා කණ්ඩායම බංගලියන්ට කුජීත වී පැරදුනේය. එහි වඩාත්ම ඛේදනීය ප්‍රතිඵලය වූයේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ සැඟවී ගෙන තිබුණු උරහිසේ ආබාධය මතු වී තරගය අතරතුර තරගයෙන් ඉවත් වීමෙනි.
අද දෙවැනි පුහුණු තරගය ය. කියන්න කණගාටුය. ඉහත කී ආකාරයට අදත් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 06කින් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පරාදය. ඇෆ්ගන් කට්ටිය දිනුවේ පන්දු 23ක් ඉතිරිව තිබෙද්දීය.
ක්‍රිකට් කායික මෙන්ම ප්‍රධානකොටම මානසික මෙහෙයුමකි. මෙම පුහුණු තරග දෙක අපට වැදගත් වූයේ ඉන්දියාව සමග ආසියානු අවසන් මහා තරගයේ විශ්වාස කළ නොහැකි කාලකණ්ණි පරාජයේ ජාගර අගාධයෙන් ගොඩ ඒමටය. මානසිකව ශක්තිමත් වීමටය. එහෙත් මේ තරග දෙක අප තවදුරටත් කුඩුපට්ටම් කර දැම්මේය.

නායක දසුන් ශානක එක දිගටම අසාර්ථක වුයේය. ඔහු අද තරගයට එක් වූයේ නැත. කුසල් මෙන්ඩිස් තරගය මෙහෙයවූයේය.
තරගයේ කාසියේ වාසිය දිනුවේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමය. ඔවුහු පන්දු රැකීම තේරූහ.
ආරම්භක පිතිකරුවන් වූයේ පැතුම් නිශ්ශංක සහ දිමුත් කරුණාරත්නය. කුසල් ජනිත් ආබාධිතවය. ආරම්භක පැතුම් ලකුණු 30කි. දිමුත් ලකුණු 08කි. මුළු ශ්‍රී ලංකා ඉනිමම කුසල් මෙන්ඩිස්ගේය. ඔහු ලකුණු 158ක් ලැබුවේය. ඒ පන්දු 87ක් තුළය. ඊට හතරේ පහර 19කි. හයේ පහර 09කි. ඒ මනරම් පිතිකරණයකි. ඔහු තරගය අතර මැද ඉනිම අත් හිටවූයේය.
එහෙත් අනෙක් එක් ක්‍රීඩකයෙකුටවත් බලාපොරොත්තු සහගත ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. සධීර සමරවික්‍රම ලකුණු 39කට දැවි ගියේය. ධනංජය ද සිල්වා ලකුණු 22කි. චරිත් අසලංක ලකුණු 12කි. දුනිත් වෙල්ලාලගේ ලකුණු ලැබුවේ නැත. සියල්ලන් ලකුණු 294කට දැවි ගියේය.
ඉන්දීය තණ තීරුවල ප්‍රතිවාදියාට යම් තරගයක් ලබා දීමට හෝ ලකුණු 300 සීමාව ඉක්මවිය යුතුය. කුසල් මෙන්ඩිස් ලකුණු 158ක් එක් අන්තයකින් ලබා දී තිබෙද්දීත් අප ඊට අපොහොසත් විය. මොහොමඩ් නබී ලකුණු 44කට ශ්‍රී ලංකා කඩුළු 04ක් බිඳ හෙළුවේය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 50ක් ක්‍රීඩා කළේ නැත. පන්දු ඕවර 46.2ක දී සියල්ලෝ ලකුණු 294කට දැවී ගියහ.
තරගය අතර වාරයේ දී වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ඉලක්කය වූයේ පන්දු ඕවර 42ක දී ලකුණු 257කි. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දු ඕවර 38.1 තුළ ලකුණු 261ක් ලබාගෙන තරගය ජයග්‍රහණය කළේය.
ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නියැලුන ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු 119ක් ලැබුවේය. රහ්මන් ෂා ලකුණු 93ක් ලැබුවේය. ඔවුන් දෙදෙනාම තරගය අතරමැද තම ඉනිම අත් හිටවූයේය.
ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දවා ගත්තේ කඩුළු 02ක් පමණි.
දැන් අප ඉන්නේ බිංදුවට පහළිනි. එය පිළිගත යුතුව ඇත. තව දවස් දෙකකින් ලෝක කුසලානය ඇරඹෙන්නේය.
තත්ත්වය මෙයය. මේ තරගාවලියේ දී අපට වැඩි දෙයක් කළ හැකි නම් ඒ වාසනාවකට බව ලියා තබමු.









