මත් වීමේ අරමුණ සහිතව කාලක් පුරා ප්‍රබල වේදනා නාශක අධි මාත්‍රාවෙන් ගැනීම හේතුවෙන් වලිප්පුව හා අපස්මාර රෝග ලක්ෂණ මතුවන පාසල් සිසුන් රෝහල්ගත වීමේ ප්‍රවණතාවය වැඩිවෙමින් ඇති බව මහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන පවසයි.
මෙම රෝග ලක්ෂණ මතුවූ විට වලිප්පුව හෝ අපස්මාරය විය යැකි බවට දෙමව්පියන් උපකල්පනය කළත් ඊට හේතුව මත්වීමේ අරමුණින් වේදනා නාශක පෙති අඛන්ඩව ලබා ගැනීම බව වෛද්‍යවරයා හෙළිදරව් කළේය.
ඔහු මේ බව පැවසුවේ මත් උවදුරින් රට බේරා ගනිමු තේමාව යටතේ අද (03) මහනුවර ශ්‍රී පුෂ්පාදන සමිති ශාලාවේ පැවැත්වූ වැඩසටහනකදී ය.
මේ වන විට වාර්තා වී තිබෙන දත්ත වලට අනුව හෙරෝයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි ලක්ෂයක පමණ පිරිසක් මෙරට සිටින බව කී වෛද්‍යවරයා හෙරෝයින් ලබා ගැනීමට නොහැකි වූ විට ඒ වෙනුවට ප්‍රබල වේදනා නාශක භාවිත කිරීමට තරුණ තරුණයින් පෙළඹී සිටින බවත් සිසේරියන් සැත්කමකට ලක් වූ මවකට ලබා දෙන ප්‍රමාණයකට වඩා පස් ගුණයකින් වැඩි වේදනා නාශක මාත්‍රාවක් දෛනිකව ලබා ගන්නා පාසල් සිසුන් ද වාර්තා වන බවත් හෙතෙම පැවසුවේය.
මෙයට වසර කිහිපයකට පෙර මාතලේ දිස්ත්‍රික්කයේ අවුරුද 13- 18 අතර පාසල් සිසුන් සම්බන්ධ කර ගනිමින් කළ පරීක්ෂණයක දී සිසුන් අතරින් 28 % ක් කුමන හෝ මත්ද්‍රව්‍යක් භාවිත කර තිබෙන බව අනාවරණය වූ බවත් එම 28% අතරින් 69 % ක් ප්‍රතිකාර ගත යුතු මට්ටමක පසුවූ බවත් විශේෂඥ මනෝ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.
මත්ද්‍රව්‍ය ලබා ගන්නා පිරිස අතරින් 6000 ක් පමණ මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමට පෙළඹී සිටින බව වෛද්‍ය ගිහාන් දසනායක පැවසුවේය. ඒ අනාරක්ෂිත තත්ත්වය තුළ ඒඩ්ස්, හෙපටයිටීස් වැනි රෝග ව්‍යාප්තවීමේ අවධානමක් ගැන ද ඔහු පෙන්වා දුන්නේය.
ඔහු පැවසුවේ රෝහල් පරිපාලනයට ගැටලුවක් වන මට්ටමට ඇතැම් රෝහල් සේවකියින් වේදනා නාශක හා සිහිනැති කිරීමට භාවිත කරන ඖෂධ ලබා ගැනීමට පුරුදු වී සිටින බවය.
අදට යෙදුන අමධ්‍යප දිනය නිමිතිකොට ගෙන මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ගේ අදහසට අනුව මහනුවර පොලීසියේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිනි.
මාතලේ, මහනුවර හා ගම්පොළ පොලිස් කොට්ඨාස වල මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තරුණයින් 300 දෙනෙකු පමණ මෙම වැඩසටහනට සම්බන්ධ වූහ. ඔවුන් ගේ ගැටලු වෛද්‍යවරු හා සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දීමට ද සංවිධායක මණ්ඩලය පියවර ගත්තේය.