අපේ ක්‍රිකට් ඇත්තටම ඇති තැන ඔස්ට්‍රේලියානුවෝ අපට කියා දුන්හ. ඒ ඔවුන් කඩුලු 07ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබමිනි.
කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු නායක ආරොන් ෆින්ච් මුලින්ම ශ්‍රී ලංකා පිලට පන්දුවට පහරදීමේ වාරය ලබා දුන්නේය. අනතුරුව ශ්‍රී ලංකා ඉනිම පන්දු ඕවර 20ක් තුළ කඩුළු 06ක් දවා ගනිමින් ලකුණු 154කට සීමා කරන්නට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ.
තරගය ආරම්භයේ දී අප තුළ ඇතිකළේ සටනක් ලබා දිය හැකි ඉලක්කයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම ගමන් ගනු ඇතැයි යන බලාපොරොත්තුවය.
එහෙත් මැදපෙළ ඒ බලාපොරොත්තුව සුන් කළේය.
ඉනිම ආරම්භ කළේ පැතුම් නිශ්ශංක සහ කුසල් ජනිත් පෙරේරාය. පැතුම් නිශ්ශංක ලකුණු 07කට දැවී ගියේය. පන්දු නවයකට මුහණ දුන් පැතුම් නිශ්ශංක දැවී යනවිට ලකුණු පුවරුව ලකුණු 15කි.
අනතුරුව පිටියට පැමිණියේ චරිත් අසලංකය. චරිත් අසලංක වේගවත් මනරම් පිතිකරණයක් දියත් කළේය. ඔහු ලකුණු 35ක් ලබා ගත්තේ පන්දු 25ක දීය.
ඔහුට අනගි සහයක් ලබා දුන් කුසල් ජනිත් පෙරේරා මුල්වරට තරගාවලියේ ලකුණු අතරට ආවේය. මේ දෙදනා අතර දෙවන කඩුල්ල සඳහා ඇතිව සම්බන්ධය ලකුණු 53කි. චරිත් අසලංක ඇඩම් සම්පාගේ පන්දුවකට ස්ටීවන් ස්මිත් අතට උඩපන්දුවක් දී දැවී ගියේය. එතැන් සිට කඩුලු වැටීම ආරම්භ විය. කුසල් ජනිත් පෙරේරා පන්දු 27ක දී ලකුණු 35ක් ලබාගෙන දැවී යනවිට ලකුනු පුවරුව ලකුණු 83කි. අනතුරුව අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 04කට දැවි ගියේය. වන්ඳු හසරංග ලකුණ 04කට දැවී ගියේය. ලකුණු 77කට එක් කඩුල්ලක් බිඳවැටී තිබුණු ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 95 වනවට කඩුලු 05කි.
දැවැන්ත ඉලක්කයකට යන ශ්‍රී ලංකා බලාපොරොත්තුව බිඳ වැටුණේය. හයවන කඩුල්ල වෙනුවෙන් පැමිණි දසුන් ශානක සහ පන්දුවට පහර දෙමින් සිටි භාණුක රාජපක්ෂ අතර ලකුණු 39ක සම්බන්ධයක් ගොඩනැගුණි. දසුන් ශානක ලකුණු 12කට දැවී ගියේය. භානුක රාජපක්ෂ වේගවත් පිතකරණය නිරත වෙමින් පන්දු 26ක දී නොදැවී ලකුණු 33ක් රැස් කළේය.
පන්දු යැවීමේ දී මිෂෙල් ස්ටාක්, ලකුණු 27ට කඩුළු 2ක්, පැට් කුම්මින්ස් ලකුණු 34ට කඩුළු 02ක්, ලබා ගත්තේය. මනරම් පන්දු යැවීමක නිරත වූයේ ඇඩම් සම්පාය. ශ්‍රී ලංකා කණ්ඩායමේ විශාල ඉලක්කය වැළැක්වූ ප්‍රධාන බාධාව නිර්මාණය කළේ ඔහුය. ඔහු පන්දු ඕවර 04 තුළ ලබා දුන්නේ ලකුණු 12කි. කඩුලු 02ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 154කට සීමා විය.
ඔස්ට්‍රේලියානු ඉනිමේ ආරම්භක පිතිකරු යුවල වූ ඩේවඩ් වොනර් සහ ආරොන් ෆින්ච් ශ්‍රී ලංකා කණ්ඩායමට උතුර දකුණ නොපෙනෙන ප්‍රහාරයක් එල්ල කළේය. ලකුණු 155 හඹා යන ගමනේ දී පළමු ඔස්ට්‍රේලියානු කඩුල්ල දැවී ගියේ ලකුණු 70 දීය. ලකුණු 70 ලබා ගන්නට ඔස්ට්‍රේලියානුවන් වැය කළේ පන්දු ඕවර 6.5 ක් පමණි.
නායක ආරොන් ෆින්ච් වනිඳු හසරංගට ගොදුරු වූයේය. ඒ වනවිට ෆින්ච් ලබාගෙන තිබුණු ලකුණු සංඛ්‍යාව පන්දු 23කට ලකුණු 37කි. ඊට හතරේ පහර 05ක් සහ හයේ පහර 02ක් ඇතුළත් විය.
දුෂ්මන්ත චමීරගේ පන්දුවකට ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ලබා දුන් පහසු උඩපන්දුව කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා විසින් අතහැරීමේ ප්‍රතිඵලය ශ්‍රී ලංකා කණ්ඩායම හොඳටෝම භුක්ති වින්දේය. වෝනර් පන්දු 42ක දී ලකුණු 65ක් රැස් කළේය.
පන්දු යවන්නෙක් ලෙස සාර්ථ වුයේ වනිඳු හසරංග පමණි. වනිඳු පන්දු ඕවර 04 යවා ලකුළු 22කට කඩුලු 02 ක් ලබා ගත්තේය. දසුන් ශානක පන්දු ඕවරයක් යවා ලකුණු 06කට කඩුල්ලක් දවා ගත්තේය.
ඔස්ට්‍රේලියානු පිතිකරුවො අනුකම්පා විරහිත ප්‍රහාරයක් ශ්‍රී ලංකා පන්දු යවන්නනට එල්ල කළහ. යළි යළිත් අසාර්ථ වෙද්දී පන්දු යැවීමට කැඳවූ ලහිරු කුමාර හොඳටෝම ගුටි කන හැටි දසුන් ශානක බලාගෙන හිටියේය. ලහිරු කුමාර පන්දු ඕවරයකට ලබා දුන් සාමාන්‍ය ලකුණු 16කි. ඔහුගේ පන්දු ඕවරය 03ට ඔස්ට්‍රේලියානුවෝ ලකුණු 48ක් ලබා ගත්හ. දළ වශයෙන් ලංකාවේ මුළු ලකුණු සංඛ්‍යාවෙන් තුනෙන් එකක් ඒ ඕවර තුනේදී ලහිරු කුමාරගෙන් ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් ලබා ගත්තේය. ඔහු යවා තිබුණේ ලකුණු නොදුන් එක් පන්දුවක් පමණි.
ඔස්ට්‍රේලියානු ඉනිම ජයග්‍රහණයෙන් නිමා කරමින් ස්ටීවන් ස්මිත් පන්දු 26කට ලකුණු 28ක් රැස් කළේය. සිවුවන කඩුල්ල වෙනුවෙන් පිටියට පැමිණි මාර්කස් ස්ටොයිනිස් පන්දු 07කට ලකුණු 16ක් රැස් කළේය.
ඔස්ට්‍රේලියානුවෝ පන්දු ඕවර 17ක දී කඩුළු 03ක් දැවී ලකුණු 155ක් රැගෙන ජයග්‍රාහී ඉලක්කය පසු කළහ.







