ඒ පිතිකරණය නම් මනරම්ය. වේගවත් පිටියක් සහිත පන්දුවට පරහර දීමට උචිත තණතීරුවේ ශ්‍රි ලංකා කණ්ඩායම බංගලාදේශයට ලකුණු 207ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දී තිබේ.
විස්සයි20 තරගයක දී මොනතරම් වේගවත් පිටියක මොන ආකාරයේ තණතීරුවක වුවද ලකුණු 206ක් හඹා යෑම පහසු නැත. කඩුළු 03ක් පමණක් දැවී ලබා ගන්නා ලකුණු 206 ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිමත් මෙන්ම විශ්වාසනීය මනෝභාවය ප්‍රකාශ කරයි.
ලෝක විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රි ලංකා කණ්ඩායම පසුවන්නේ 08වන තැනය. බංගලාදේශය අපට වඩා එක් ස්ථානයක් පහළිනි. බංගලාදේශය 09වන තැනය. එහෙත් මේ තරගයට අප පිවිසෙන්නේ අපේ හොඳම විස්සයි 20 තුන්ඉරියව් ක්‍රීඩකයා වූ වනිඳු මෙන්ම අපේ විශිෂ්ටම ආරම්භක පිතිකරු පැතුම් නැතිවය.

තරගාවලිය ආරම්භ කරමින් සිල්හෙට් හි ආරම්භවුන තරගයේ කාසියේ වාසිය ලබා ගත්තේ බංගලාදේශ කණඩායමය. ඔවුහු පන්දු යැවීම තේරුහ.
තරගය ආරම්භයේම පැතුම් නැති අඩුව හොඳටම දැනුනේය. ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු තමන් මුහුණ දුන් දෙවැනි පන්දුවෙන් ලකුණු 04කට දැවී ගියේය. අනතුරුව අනෙක් අන්තයෙන් පන්දුවට පහර දීමට පැමිණි කුසල් මෙන්ඩිස් ට එක්වුනේ කමිඳු මෙන්ඩිස්ය. කමිඳු සහ කුසල් අතර ඇතිවන්නේ ලකුණු 33ක සම්බන්ධතාවක් පමණි. කමිඳු හතරවැනි ඕවරයේ 3වැනි පන්දුවේ දී ලකුණු 19කට දැවී ගියේය. ඒ වනවිට ලකුණු පුවරුව ලකුණු 37කි. කඩුළු 02ක් දැවී ගොස්ය.
එහෙත් ඉන් අනතුරුව කුසල් මෙන්ඩිස් හා එක්වන සධීර සමරවික්‍රම තනිකරම තරගය ස්වකීය අණසකට යටත් කර ගත්හ. පන්දු 36ක දී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමගින් කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් ලැබුවේය.
කුසල් තුන්වන කඩුල්ල ලෙස 14 වැනි ඕවරයේ 4 වැනි පන්දුවේ දී දැවී යන විට මුළු ලකුණු සංඛයාව තිබුණේ 133ක ය. ඒ වනවිට එක් අන්තයක් රැකගෙන විචිත්‍ර පිතිකරණයක නිරතවෙමින් සිටි සධීර සමරවික්‍රමට එක්වුන නායක චරිත් අසලංක එතැන් සිට පිටිය කස පුපුරුවන පෙරහරක් බවට පත් කළේය. ඔහු පන්දු 21කට පමණක් මුහුණ දුන්නේය. ලකුණු 44කි. එක් හතරේ පහරක් නැත. හයේ පහර 06කි. නොදැවී තරගය අවසන් කළ සධීර සමරවික්‍රම පන්දු 48ක දී ලකුණු 61කි. ඔහු තරේ පහර 8කි. හයේ පහර 1 කි.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 20 අවසානයේ දි ලකුණු 206කි. කඩුළු 03ක් පමණක් දැවී ගොස් තිබිණි.
බංගලි පන්දු යවන්නෝ අනුකම්පා විරහිත ප්‍රහාරයකට ලක් වුහ. ෂොරිෆුල් ඉස්ලාම් ලකුණු 47ක් ලබා දී කඩුල්ලක් දවා ගත්තේය. ටස්කින් අහමඩ් ලකුණු 40කට කඩුල්ලක් ලැබුවේය. රිෂාඩ් හොසේන් ලකුණු 32කට කඩුල්ලක් ලැබුවේය.
ලකුණු 19ක් අතිරේක ලකුණු ලෙස බංගලාදේශ කණ්ඩායම ශ්‍රි ලංකාවට ප්රදානය කර තිබේ. තරගයක් පිළිබඳ තීරණයට මෙම ලකුණු ප්‍රමාණය ඇතිය. බොහෝ විට තරගය ශ්‍රී ලංකාව පැත්තේය.







