අසේල කුරුළුවංශ
සංඝ කතිකාවතක් රට තුළට ගෙන ඒම සඳහා 2006 වසරේ සිට තමන් වහන්සේ නොගත් උත්සාහයක් නොමැති බවත්, එහෙත් කිසිවෙකුගේ සහය නොලැබීම හේතුවෙන් එම වෑයම සාර්ථක කර ගැනීමට නොහැකි වූ බවත් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියෝ පවසති.
වසර 2006 සිට ආණ්ඩු කිහිපයක් රටේ බලයේ සිටි නමුත්, එම ආණ්ඩු කිසිවකින් ඊට නිසි සහයක් නොලැබුණු බැවින් සංඝ කතිකාවතක් ගෙන ඒමේ අදහස අත්හැර දැමීමට සිදු වූ බව උන්වහන්සේ වදාළහ. දිනෙන් දින සිදුවන ශාසනික පරිහානිය වළක්වා ගැනීම සඳහා විහාර දේවාලගම් ආඥා පනතට හෝ සංශෝධනයක් ගෙන එන ලෙස ඉල්ලීමක් කරනු ලැබුවේ ඉන් පසුව බව ද මහානාහිමියෝ සඳහන් කළහ.
සමගි ජනබලවේගය මඟින් පැවැත්වීමට නියමිත මහා සඝ සමුළුව සම්බන්ධයෙන් මල්වතු මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දැනුවත් කිරීම සඳහා එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රානි කිරිඇල්ල අද (08) මල්වතු මහා විහාරයට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
සංඝ කතිකාවත සකස් කිරීම වෙනුවෙන් මල්වතු මහා නායක නිල ආරමයේදී නිකාය හා පාර්ශව නියෝජනය කරමින් මහා සංඝරත්නය සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වූ බව සිහිපත් කළ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, එම වෑයම ව්‍යර්ථ වීමේ බරපතළ ප්‍රතිඵල දැන් සමාජය තුළ දකින්නට ලැබෙන බව ද කීහ.
මෙහිදී අදහස් දැක්වූ චමින්ද්‍රානි කිරිඇල්ල මන්ත්‍රීවරිය සඳහන් කළේ, මහා සංඝරත්නය වෙතින් ප්‍රධාන විපක්ෂය වෙත ඉදිරිපත් වූ යෝජනා සැලකිල්ලට ගනිමින් පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් සඟ සමුළුවක් පැවැත්වීමට තීරණය කර ඇති බවය. ඒ පිළිබඳ සියලු විස්තර දැනුම් දීම සඳහා සජිත් ප්‍රේමදාස ඉදිරි දිනයකදී මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා බැහැදැකීමට පැමිණෙනු ඇති බව ද ඇය පැවසුවාය.
මිහිඳු මහා රහතන් වහන්සේගේ ලංකාගමනයත් සමඟ මෙරට සංස්කෘතිය බුදු දහම හා බද්ධ වී පෝෂණය වූ බවත්, මේ වන විට සැලසුම් සහගතව මහා සංඝරත්නය අපහසුතාවට පත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් මන්ත්‍රීවරිය මෙහිදී කියා සිටියාය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මහා සඝ සමුළුවක් පැවැත්වීමට පක්ෂය තීරණය කළ බව පැවසූ ඇය, සජිත් ප්‍රේමදාස මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සමඟ සාකච්ඡා කර ඒ සඳහා සුදුසු දිනයක් ඉදිරියේදී තීරණය කරනු ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කළාය.









