කුරුණෑගල මලියදේව විදුහල ඉදිරිපස පිහිටි ප්‍රසිද්ධ පොත් අලෙවිසැලක අද (28) පෙරවරුවේ සිට මේ දක්වා අඛණ්ඩව පවතින මහා ගින්න නිසා ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳ සලකා බැලීමෙන් පසු හෙට දිනයේ එම විදුහල වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් විසින් තීරණය කර තිබේ.

අද පෙරවරුවේ ඇති වූ මෙම ගින්න අඛණ්ඩව මේ දක්වා ඇවිලෙමින් ඇති අතර හාත්පස විශාල ප්‍රදේශයක් කළු දුමාරයකින් වැසී ගොස් ඇත.
මහල් පහකින් සමන්විත මෙම දැවැන්ත ව්‍යාපාරික ස්ථානය ගින්නෙන් සම්පූර්ණයෙන්ම වටලනු ලැබ ඇති අතර, මේ වන විට දේපළවලට බරපතළ හානි සිදුව ඇති බව වාර්තා වේ.
ගින්න නිවා දැමීම සඳහා කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය ඇතුළු සහන කණ්ඩායම් දැඩි වෙහෙසක් දරමින් සිටින ආකාරය දැකගත හැකි විය.
මලියදේව විදුහල හෙට වසා තැබීමට තීරණය කර ඇත්තේ මෙම හදිසි තත්ත්වය සහ පවතින අවදානම සැලකිල්ලට ගනිමිනි.









