E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ පැවසීය.
ඔවුන් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන අරඹා තිබෙන බව කී සභාපතිවරයා E8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියා ලබා දීමට නීත්‍යානුකූල ගිවිසුමක් නොමැති බැවින් එම රැකියා නීත්‍යානුකූල නොවන බවද පෙන්වා දුන්නේය.
එලෙස රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයින් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ‘සභාපතිට කියන්න” වැඩසටහනට තොරතුරු ලබා දෙන ලෙසද කෝශල වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
එම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඬුවම් කිරීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන්නේ යැයි ද සභාපතිවරයා සඳහන් කළේය.
දකුණු කොරියාවේ කෙටි කාලීන රැකියා දෙන බව කියා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් 26 වැනිදා බත්තරමුල්ලේදී හා පොල්ගස්ඕවිට දී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය. (ලංකාදීප – අංජුල මහික වීරරත්න)







