පවතින ක්‍රමවේදය තුළම ප්‍රතිසංස්කරණ පමණක් සිදු කරමින් ඉදිරියට යනවා වෙනුවට, රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බවත් රට නව තලයකට ඔසවා තැබීම සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළෙහිදී පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම පිළිබඳව රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ දිනකට රිය අනතුරුවලින් අට දෙනකු පමණ මිය යන බව සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වන බවයි. ඒ අනුව ශක්තිමත් මාර්ග නීති පද්ධතියක අවශ්‍යතාව පැහදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාර්ග තදබදය වළක්වා ගැනීමට, විෂ වායු විමෝචනය අවම කර ගනිමින් පාරිසරික හානිය අවම කර ගැනීමට සහ වාහන ආනයනය වෙනුවෙන් රජය දරන අධික වැය බර අඩු කර ගැනීම සදහා පොදු ප්‍රවාහනය ශක්තිමත් කළ යුතු බව පෙන්වා දුන්නේය.

පුද්ගලික අංශයටත් අවස්ථාව –
ඒ අනුව, මෙරට පොදු ප්‍රවාහන පද්ධතිය, දියුණු, පහසුකම් සහිත සහ කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර තිබෙන බව පැවසු ජනාධිපතිවරයා ඒ සඳහා රජයෙන් සිදු කරන ආයෝජනවලට අමතරව, පෞද්ගලික අංශයටද ආයෝජන අවස්ථා විවර කර තිබෙන බව පැවසීය.
ලෝකයට සාපේක්ෂව වර්තමානයට ගැළපෙන පරිදි මෙරට දුම්රිය ස්ථාන නව අනන්‍යතාවයකින් සන්නාමගත කිරිමට රජය සමඟ එක් වන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී පෞද්ගලික අංශයට ආරාධනා කළේය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව (Public-Private Partnership) ව්‍යාපෘතියක් ලෙස දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබ තිබේ.
විශේෂ අවශ්‍යතා සහිත ප්රජාවද ඇතුළත්ව සියලු මගීන්ගේ ආරක්ෂාව හා සුවපහසුව සලසන පිරිසිදු, සුන්දර දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
මාර්ග ආරක්ෂාව පිළිබඳ ක්‍රියාකාරී සැලැස්ම (The Road Safety Action Plane 2025 – 2026) ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක විසින් මෙහිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වන ලදී.
මාර්ග තදබදයනිසා වන ආර්ථික හානිය
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා සදහන් කළේ විශේෂයෙන් මාර්ග තදබදය නිසා පමණක් වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදිතයට 2%-3% අතර ප්‍රමාණයක් අහිමි වන බවයි. 2012 වසරෙන් පමණ පසු ජනතාව විශාල වශයෙන් පොදු ප්‍රවාහනයෙන් ඉවත් වෙමින් සිටින අතර ඒ අනුව අනාගතයේදී පිට්ටනි තරම් පාරවල් හැදුවත් ප්‍රවාහන ගැටලු සම්පූර්ණයෙන්ම
නොවිසඳෙන බැවින් ඒ වෙනුවට පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම අද අනිවාර්ය වී ඇති බවයි.
ඒ වෙනුවෙන් ඉදිරියේදී සිය අමාත්‍යාංශය කොට්ටාව සිට අවිස්සාවේල්ල දක්වා ද්විත්ව මාර්ගය සහ අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා නව දුම්රිය මාර්ග ඉදිකිරීම, භාණ්ඩ ප්‍රවාහනය සදහා දුම්රිය සේවා යොදා ගැනීමට අදාළ පහසුකම් සංවර්ධන කිරීම, දුම්රිය මාර්ග අයිතිය දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ තිබියදී සංචාරක කර්මාන්තය සදහා දැනට අතහැර ඇති නුවරඑළිය – නානුඔය දුම්රිය මාර්ගය පුද්ගලික අංශය හා ඒකාබද්ධව සංවර්ධනය කිරීම මෙන්ම ඉදිරි අයවැයෙන් නව දුම්රිය කිහිපයක් ගෙන ඒමට යෝජනා කිරීමටද බලාපොරොත්තු වන බව පැවසීය.
එම්.අයි.සී.ඩී ඇසෝසියේට්ස් සම නිර්මාතෘ සහ ප්‍රධාන වාස්තු විද්‍යාඥ මුරාල් ඉස්මයිල් විසින් මෙහිදී දුම්රිය ස්ථාන නවීකරණය කිරීමේ සැලැස්ම ඉදිරිපත් කරන ලදී. එසේම, ජාතික විද්වත් සංවිධානය (NIO) වෙනුවෙන් වරලත් ඉංජිනේරු එම්.එම්.එස් මොරේමඩ මරදාන, මීරිගම හා මොරටුව දුම්රිය ස්ථානවල ක්‍රියාත්මක වූ නියමු ව්‍යාපෘතිවල අත්දැකීම් පැහැදිලි කළ අතර, අවශ්‍ය අවස්ථාවලදී තාක්ෂණික මාර්ගෝපදේශන සැපයීම සඳහා තම සංවිධානයේ සහාය ස්වේච්ඡාවෙන් ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.
දුම්රිය හරස් මාර්ග ආරක්ෂා කිරීම
මෙයට සමගාමීව, අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග විශාල ප්‍රමාණයක්(429) පවතින බවත්, ඒයින් ප්‍රධාන වශයෙන් 134ක් පළමු වටයේදී ආරක්ෂිත තත්ත්වයට ගෙන ඒම මගින් අනතුරු අඩු කරගත හැකි බවත් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු (සංඥා හා විදුලි සංදේශ) වී.සී.ඊ ජයසේකර මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
‘Dream Destination’ වැඩසටහන පිළිබඳව රැස්ව සිටි පිරිස සමග අදහස් හුවමාරු කර ගැනීමද මෙහිදී සිදු කෙරුණු අතර ඔවුන්ට මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීම සදහා වන මාර්ගගත ක්‍රමවේදය හදුන්වා දීමද සිදු විය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා, මෘදුකාංග ඉංජිනේරු සුමුදු රත්නායක සහ පෞද්ගලික අංශයේ ප්‍රකට සමාගම් හා ආයතන රැසක ප්‍රධානීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.







