ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය සම්බන්ධව අවසන් එකඟතාවයක් ඇති කරගැනීම සඳහා හෙට (03) පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.
කතා නායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කැඳවා ඇති එම සාකච්ඡාවේ දී නව සංශෝධනය සම්බන්ධව මතු වී ඇති ගැටලු සහ එයට අලුතින් එකතු කිරීමට අවශ්‍ය කරුණු සම්බන්ධව අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිතව තිබේ.
පක්ෂ නායකයින්ගේ තීරණය අනුව 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර එහි අනුමැතිය ලබා ගැනීමට තීරණය කර තිබේ.
මතභේදයට තුඩු දී තිබෙන විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම සහ එහි බලතල අඩුකිරීමේ කටයුත්ත ජන මත විචාරණයකට යා යුතු දීර්ඝ ක්‍රියාවලියක් බැවින් ඒවා දෙවැනි පියවර ලෙස ගෙන ද්විත්ත්ව පුරවැසියෙකුට මෙරට මහජන නියෝජිතයෙක් බවට පත්වීමට නොහැකිවන වගන්තිය සහ රාජ්‍ය තන්ත්‍රය ස්වාධීන කිරීම සඳවන කොමිෂන් සභා පිහිටුවීම ඇතුළු යෝජනා රැසක් යටතේ නව සංශෝධනය සම්මත කරගත යුතු බව දේශපාලන පක්ෂ බහුතරයකගේ මතය වී තිබේ.
මේ අතර අද රටේ ප්‍රධානතම ප්‍රශ්නය වී තිබෙන්නේ ද්විත්ව පුරවැසි භාවය බව හෝ ජනාධිපතිගේ බලතල අඩුකිරීම නොව, ජනතාව මුහුණ පා ඇති ආර්ථික හා සමාජ ගැටලු බැවින් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එම ගැටලු විසඳා ගැනීමට අදාලව ගෙන එන කරුණුවලට මුල් තැන දිය යුතු බව පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමේ පිරිසකගේ මතය වී ඇත.
ඔවුන් පවසන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා එහි බලතල අඩු කිරීමත්, ද්විත්ව පුරවැසියෙකුට මෙරට පාර්ලිමේන්තුවේ තනතුරක් දැරීමට සම්බන්ධ යෝජනාත් දෙවැනි පියවර ලෙස තබාගෙන ජනතාවගේ ආර්ථික තත්ත්වය නගා සිටුවීම සම්බන්ධ කරුණු ඇතුළත් 21 වැනි සංශෝධනයක් වහාම ක්‍රියාත්මක කළ යුතුය යන්නය.
කෙසේ වෙතත් මේ සියල්ල සම්බන්ධව පක්ෂ නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර යෝජනා ඉදිරිපත් කරන බවත් කුමක් සාකච්ඡා කළත් ද්විත්ව පුරවැසි භාවය ඇති පුද්ගලයෙකුට මෙරට පාර්ලිමේන්තුවේ හෝ රාජ්‍ය තන්ත්‍රයේ වෙනත් තනතුරක් දැරිය නොහැකිය යන යෝජනාව අනිවාර්යෙන්ම 21 වැනි සංශෝධනයට ඇතුළත් කරන බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පැවසීය.
මේ අතර ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පක්ෂ 10ක නායකයින් හා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් අද යළි පැවැත්වේ. 21 වැනි සංශෝධනයට ඇතුළත් විය යුතු පක්ෂ 10 අවසන් යෝජනාව විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයාට ඔවුන් අද (02) භාර දෙනු ඇත.