පකිස්තානයට එරෙහිව අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය වෙත නීති කෙටුම්පතක් ඉදිරිපත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අමෙරිකානු නීති සම්පාදකයින් දෙදෙනෙකු වන Steve Chabot සහ ඉන්දියානු සම්භවයක් සහිත Ro Khanna විසිනි.
ඔවුන් ප්‍රකාශයට පත් කර ඇත්තේ 1971 බංග්ලාදේශයේ බෙංගාල හා හින්දු ප්‍රජාවට එරෙහි පකිස්තාන හමුදා ක්‍රියාමාර්ග ජන සංහාරයක් බවයි.
මිලියන ගණනක් සමූල ඝාතනය කළ අදාල සිදුවීම කාලයෙන් මැකී යාමට ඉඩ නොදිය යුතු බව ද අමෙරිකානු නීති සම්පාදකයින් දෙපළ තරයේ අවධාරණය කර ඇත.
එවැනි අපරාධ සදාකාලිකව නොඉවසනු ඇති බව හෝ අමතකව නොයන බව අපරාධකරුවන් දැන ගත යුතු බව ද ඔවුන් පෙන්වා දෙයි.
පිටු 8 කින් සමන්විත යෝජනාවලිය “Recognising the Bangladesh Genocide of 1971” ලෙස නම් කර තිබේ.
එමගින් අමෙරිකාව පකිස්තානය රජයෙන් ඉල්ලා සිටින්නේ ඉදිරිපත් වී ඇති සාක්ෂි හමුවේ එවැනි සංහාරයක භූමිකාව පිළිගන්නා ලෙස හා බංග්ලාදේශ රජයෙන් හා ජනතාවගෙන් සමාව අයැද සිටීම පිළිබඳ සලකා බලන ලෙසයි.
එමෙන්ම තවමත් ජීවත්ව සිටින වරදකරුවන්ට අදාළව නඩු විභාග පවත්වන ලෙස ද අමෙරිකාව පකිස්තානයට අවධාරණය කර තිබේ.
පකිස්ථානයේ එවැනි කුරිරු ක්‍රියාකාරකම් බෙංගාලි සහ හින්දු ජන කොට්ඨාස වෙත එල්ල වූ මනුෂ්‍යත්වයට එරෙහි යුධ අපරාධ සහ සමූල ඝාතන බව ද අමෙරිකාව පෙන්වා දෙයි.
විමුක්ති යුද්ධයේදී පකිස්තාන හමුදාවේ සහාය ඇතිව බෙංගාලි නොවන මුස්ලිම්වරුන් විසින් බෙංගාල හා හින්දු ජන කොටස් සමූල වශයෙන් ඝාතනය කර ඇති බව ද අමෙරිකානු නීති සම්පාදකයින් චෝදනා කරයි.







