කලින් දන්වා තිබූ පරිදිම ලබන සතියේ 19 දා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේ දී නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා රන්ජිත් සියඹලාපිටිය තීරණය කර ඇත.
වත්මන් පාලනය යටතේ රට විපතට පත්වීම සහ ජනතාව විපතට පත්වන ආකාරය ගැන කල්පනා කර තමන් මේ ධුරයෙන් මීට පෙර ද ඉල්ලා අස්වීමට තීරණය කළද තමන් නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපතිවරයා කළ ඉල්ලීමකට අනුව එම තීරණය වෙනස් කරගත් බව නියෝජ්‍ය කතානායකවරයා පැවසීය.
කෙසේ වෙතත් 19 දා තමන් නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉවත්වන බව ජනාධිපතිවරයා සහ තම පක්ෂය දැනුම්වත් කළ බැවින් පාර්ලිමේන්තු සැසිවාරයේ ප්‍රථම කාර්යය ලෙස නියෝජ්‍ය කතා නායකවරයෙක් පත් කර ගත යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.
“ අද මේ රටේ ජනතාවට ඉන්ධන නෑ. විදුලිය නෑ. කිරිපිටි නෑ, ඖෂධ නෑ, උදේ සිට හවස්වන තුරු පෝලිම්වල. මේ දුක දැනෙන භාෂාවකින් රජයට කියන්න තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනතුරු හැර දමා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් ලෙස අසුන් ගත්තේ.“ ඔහු කීවේය.
පසුගිය දා තමන් නියෝජ්‍ය කතා නායක ධුරයෙන් ඉල්ලා අස්වුනා නම් පාර්ලිමේන්තුවේ කටයුතු දරුණු අර්බුදයකට ලක්වීමට ඉඩ තිබුණු බවත් එය එසේ වීමට ඉඩ නොදී ලබන සැසිවාරය තෙක් රැඳී සිටීමට තමන් තීරණය කළ බවත් ඔහු ලංකාසරට පැවසීය.







