ඇතැම් ප්‍රතිජීවක ඖෂධවල මිල රුපියල් 4000 සිට 15000 දක්වා මිල ඉහළ යාම හේතුවෙන් සැපයුම්කරුවන් ඖෂධ සැපයීම ප්‍රතික්ෂේප කිරීමත් සමග රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිජීවක ඖෂධයන්ගේ උග්‍ර හිඟයක් මතුව ඇති බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සන්තුෂ් සේනාපති සඳහන් කරයි.
බැක්ටීරියා ආසාදිත ඇතැම් දරුවන්ට දිනකට මාත්‍රා 3 බැගින් දින 5ක් පුරා මෙම ඖෂධ ලබා දීමට සිදුව ඇති බවත් මේ සඳහා රුපියල් 225,000ක මුදලක් වැය කීරීමට සිදු ඇති බැවින් මෙවැනි අධික මිල ගණන් සහිත ඖෂධ සැපයීමට සැපයුම්කරුවන් ඉදිරිපත් නොවන බවත් වෛද්‍ය සේනාපති සඳහන් කරයි.
මේ වන විටත් දරුවන්ට අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධයන් ලබා දෙනුයේ පරිත්‍යාගශීලීන් විසින් යැයිද හෙතෙම පවසා සිටියි.
බැක්ටීරියාවන් මර්ධනය සඳහා ලබා දෙන ප්‍රතිජීවක ඖෂධයන් වෛද්‍ය උපදෙස් මත නිශ්චිත කාල සීමාවක් දක්වා ලබා දිය යුතු අතර එසේ ලබා දීම අතර මග නතර කිරීමෙන් ප්‍රතිරෝධීතාවන් ගොඩනැගෙන බවත් මෙම ප්‍රතිරෝදීතාවන් මර්ධනය සඳහා ලෝකයේ ඖෂධයන් නොමැති බවත් හෙතෙම පෙන්වාදේ.







