හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (02) රාත්‍රියේ ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
එම පණිවිඩයත් සමග පොලිසියේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ උපදෙස් මත මේ වනවිට විධායක ජනාධිපතිවරයෙකුට ලැබිය යුතු පූර්ණ ආරක්ෂාව හිටපු ජනාධිපතිවරයා වෙත සැලැසීමේ කටයුතු සංවිධානය වෙමින් ඇති බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
හිටපු ජනාධිපතිවරයා මිරිහානේ පිහිටි තමන්ගේ නිවසට යන සියලුම මාර්ග දැඩි පොලිස් රැකවල් සහිතව ආරක්ෂාව තර කිරීමත් හිටපු ජනාධිපතිවරයා ගමන් ගන්නා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ඉහළින් ඇති පාලම් මත පවා පොලිස් ආරක්ෂාව තර කිරීමත් සිදුවෙමින් ඇති බව වාර්තා වේ.
කොළඹ පොලිස් ස්ථානවලින් සේම ගම්පහ පොලිස් ස්ථානවලින් ද අතිරේක පොලිස් නිලධාරීන් කොළඹට ගෙන්වා රාත්‍රී 10 සිට මෙම ආරක්ෂ වැඩපිළිවෙළ දියත් කිරීමට සැලසුම් කර ඇත.
හිටපු ජනාධිපතිවරයා පිළිගැනීමට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කරන බව අද උදේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් ලංකාසරට පැවසීය.







