තුෂාරී කළුබෝවිල –
අඳුරට ශාප කරමින් නොසිට එක පහනක් දල්වන්නට අප සෑම කටයුතු කළ යුතු කාලයක් එළඹ තිබේ. පිට රටවලින් ගෑස් නැව් එනතුරු මුහුදට දත නියවා බලා නොසිට අපට අපේ ම විසඳුමක් වෙත යා හැකි ව තිබේ. ආයේ කවදාවත් අපට ගෑස් එපා යැයි කියන්නට තරම් විකල්ප අප සතුව ඇති බව අපේ මිනිස්සු අපට කියා දී ඇත.
අප දර ළිපේ රසට බත් කෑ ජාතියක් බව කියා දුම් සහිත අතීතයට යා යුතු නැත. එහෙත් තාක්ෂණයෙන් රටට ගැළපෙන දේට නව මුහුණුවරක් දිය හැකිය. නව නිෂ්පාදන බිහිවන්නේම ජීවිත අභියෝග හමුවේය. ගෑස්වලට විකල්ප ලෙස තරුණ නිර්මාණකරුවන් අතින් එවැනි නිශ්පාදන රැල්ලක් රටේ ඇති වුණේය. චමින්දගේ අඟුරු මැටි ළිප එවැන්නකි. එය ගෑස් පෝලිම්වල වටිනා කාලය නාස්ති කර දමමින් අනේක දුක් විඳින ජනතාවට වහා ම එම ස්ථානවලින් ඉවත් ව සදහට ම ගෑස් එපා කියන්නට හැකි සුපිරි විසඳුමකි.

චමින්ද ගේ පොල්කටු අඟුරු මැටි ළිපට මේ වනවිට දෛනික ඉල්ලුම් 400ක් පමණ ලැබේ. ඒ සියලු ඉල්ලීම් කෙසේ හෝ සපුරන්නට චමින්ද ඇතුළු කණ්ඩායම කටයුතු කරමින් සිටිති. බත්තරමුල්ල හන්දියෙන් තලවතුගොඩ (කොට්ටාව) පාරේ මීටර 500ක් ගිය තැන අපට හමුවන “සකපොටරි” (suka pottry) ආයතනයේ ප්‍රධානී චමින්ද පෙරේරා තමන්ගේ වැඩි දියුණු කළ මැටි අඟුරු ළිප ගැන අප සමග කතාවට එක් වුනේය.
“මම අපේ රටේ හැමෝගෙන් ම ඉල්ලා සිටින්නේ නිවසේ අවශ්‍යතා වෙනුවෙන් ගෑස් සිලින්ඩර ඔසවාගෙන ගොස් ගෑස් එනතුරු මහා පාරේ තැන් තැන්වල කාලය නාස්ති කර ගන්න එපා කියලා. අපි අපේ විසඳුමකට යන්න කාලය ඇවිත්. “
“ගෑස් මිලදී ගන්න ලංකාවේ ඩොලර් නෑ. මේ වෙලාවේ අපට අත්‍යවශ්‍ය ම වන බෙහෙත් මිලදී ගැනීමට ප්‍රමුඛතාව ලබා දෙමින් ගෑස් ඉල්ලීම මුළුමනින් ම අතහැර දමන්න පුලුවන් දැනට තියන හොඳම විකල්පයක් තමයි මේ වැඩි දියුණු කළ අඟුරු මැටි ළිප. විදුලිය භාවිත කරලා පුංචි විදුලි පංකාවක් කැරකීමෙන් එන සුළඟින් අඟුරු පූර්ණ දහනයක් කරන එකයි සිදුවෙන්නේ. එතකොට දුම් අළු පිටවෙන්නෙ නෑ. “
“රටේ බොහෝ නිර්මාණශීලී පිරිස් සිමෙන්ති වගේ විවිධ අමුද්‍රව්‍ය යොදාගෙන මේ අඟුරු ලිප නිශ්පාදනය කරනවා. අපි අඟුරු ළිප හදන්නෙ ටෙරාකොටා මැටිවලින්. අපි හදන ලිප විදුලිය නැති වෙලාවට බැටරියෙන් වැඩකරන්න පුළුවන් විදිහට විදුලි පංකාව හදලා තියෙන්නෙ…“ ඔහු කීවේය.
“මුලදි මම මේ ළිප හැදුවේ ගෙවල්වලට විතරයි. නමුත් මේ වනවිට හෝටල්වලට ගැලපෙන ආකාරයට කිලෝ විසි පහක මස් කරියක් වුණත් එකවර ළිප තැබිය හැකි ප්‍රමාණයේ ළිප් හදනවා. “
“කොළඹ අවට වැසී ගිය හෝටල් කිහිපයක් ම මගෙන් මේ ළිප් අරගෙන මේ වනවිට යළි පිසූ ආහාර සැපයීම ආරම්භ කර තිබෙනවා. අපි ඒ ළිපට ෆෑන් දෙකක් දාලා හදලා තියෙන්නෙ. දැනට හෝටල්වලින් ලොකු ඉල්ලුමක් මේ ළිපට තියෙනවා.“
චමින්ද පෙරේරා කියන්නේය.
අපේ ගම්වලත් දැන් මේ ලිප් නිෂ්පාදන කරන නිෂ්පාදකයෝ වෙති. ලිප පාවිච්චියේ දී වළං කළු වෙන්නේ නැත. දුම යන්නේ නැත. නවීන මුළුතැන්ගෙයක පැන්ට්‍රියකටත් කදිමට ගැළපෙන්නේය. කෞතුක හැඩයක් සහිත සැරසිල්ලක් සේ පෙනෙන්නේය. ගෑස් ලිපකින් කෙරෙන සියලුම කටයුතු ඒ අයුරින්ම ඉටු කරගත හැකි වන්නේය.
ගෑස් ලිප අඩුම පිරිවැයක් සහිත ඉවුම් මාධ්‍යයකි. නවීකරණය කළ අඟුරු ලිපේ වියදම ඊටත් අඩුය. හොටලයක නම් දිනකට ගොඩ ගැසෙන පොල්කටු ප්‍රමාණය මේ ලිපක් සඳහා සතියකට ප්‍රමාණවත්ය. දර ලිපක් භාවිත කළ නොහැකි කොළඹ මහල් නිවාසවලට, කුඩා නිවාසවලට, මේ ලිප ඉතාම කදිම විසඳුමක් ලෙස ඉදිරිපත් වී තිබේ.
ලිප සඳහා පොල්කටු අඟුරු හදා ගත යුතුය. නැතිනම් අඟුරු කඩෙන් මිල දී ගත හැකිය. චමින්ද පෙරේරා පොල්කටු අඟුරු සදා ගන්නා ආකාරයත් කියා දුන්නේය.
“ පොල්කටු අඟුරු ගෙදර හදා ගන්නත් පුළුවන්. එක්කෝ බිම වලක් හාරලා හෝ සාස්පානක් ඇතුළේ පොල්කටු කිහිපයක් දාලා ගිනි තියන්න ඕනේ. එය හොඳින් පත්තු වෙද්දි උඩින් පියනකින් වහන්න ඕනේ. පියන ඇරලා පත්තු කළොත් පොල්කටු අලුවෙලා යන්වා. ඒ විදිහට පොල්කටු අඟුරු ගෙදර හදා ගන්න පුළුවන්. ගෙදර දිනපතා එකතු වන පොල්කටු හොඳට ම ඇති.” ඔහු කිවේ ය.
බත්තරමුල්ලේ විකිණෙන අඟුරු මැටි ළිප නිපදවීම් සිදු කරන්නේ තිස්සමහරාමයේ පිහිට චමින්දට අයත් කර්මාන්තයට ශාලාවෙනි. දැන් ඔවුන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වන්නේ ළිප සෑදීමට ගන්නා කුඩා ප්ලාස්ටික් හා විදුලි පේනු ආදිය සපයා ගැනීම යි. මේ වනවිට ඇති තරමට ඒවා විදේශයෙන් ගෙන්වා ඇති නමුත් ඩොලර් අර්බුදය හේතුවෙන් එම ද්‍රව්‍ය ගෙන්වීම නවතා ඇත. එම ගැටලුවට ද විසඳුම් ලබා දෙමින් එකී විද්‍යුත් උපකරන මෙරට නිපදවීමට අවශ්‍ය තාක්ෂණය ලබා දීමට මෙරට මහාචාර්යවරයෙක් දැනටමත් ඉදිරිපත් ව ඇත.
“නාරාහෙන්පිට පන්සල ලිප් විශාල සංඛ්‍යාවක් සක පොටරි වෙතින් මිලදී ගෙන දුගී පවුල් වෙත නොමිලේ බෙදා දෙනවා. අපට ඉල්ලීම ලැබුණා ම අපි රෑ එළිවන තුරු හෝ මහන්සි වෙලා මේ ළිප් හදලා ඉල්ලුම සපයනවා. මොකද මිනිස්සු අසරණ වෙලා ඉන්න නිසා ඒ අය වෙනුවෙන් සැපයුම ලබා දෙන්න අපි කොහොම හරි මහන්සි වෙනවා.“.
මේ නිෂ්පාදන ක්‍රියාවලියෙදි විස්සක් විතර මාත් එක්ක වැඩ කරනවා. පිටස්තර අයටත් මම මැටි දීලා නිෂ්පාදනය වැඩිකර ගෙන තියෙනවා. ප්‍රධාන කර්මාන්තය ආශ්‍රිත ව රැකියා අවස්ථා අලුතෙන් ඇතිවෙලා තියෙනවා. මේ කර්මාන්තය පුළුල් කිරීමෙන් තව බොහෝ පිරිසකට රැකියා දෙන්නත් පුළුවන්කම තියෙනවා.

මේ නිෂ්පාදන වැඩිදියුණු කරලා සාර්ථක කළොත් ආයෙ කවදාවත් ඉවත දමන පොල්කටුවලින් ඩෙංගු බෝ වෙන එකක් නෑ. ගෑස් නැව් එනකන් මුහුද දිහා බලාගෙන ඉන්න ඕනෙත් නෑ.” චමින්ද කීවේ ය.
මිනිස්සු ආණ්ඩු පත් කරගන්නේ උදේ හවස මූසල කමට නැති බණේ කියමින් කණවැන්දුම් වූ ගෑනුන් සේ නගන අඳෝනා අසන්නට නොවේ. ආණ්ඩු ඉන්නේ රටක ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහාය. ගෑස් නැති රටක, ගෑස් ගන්නට සල්ලිත් නැති රටක මෙවැනි විකල්ප නිෂ්පාදන තාක්ෂණිකව වැඩිදියුණු කිරීමට මැදිහත් වී හැකිනම් ගෑස් විකල්පයක් කරගෙන රටට ගැලපෙන සම්ප්‍රදාය ප්‍රමුඛ කරගැනීමට ප්‍රතිපත්තිමය ප්‍රවේශ ප්‍රායෝගික කිරීම සඳහාය.
එහෙත් එය එසේ සිදුවන්නේ නැත. සහනාධාර බෙදමින් යන නත්තල් පප්පලා වනවාට වඩා මෙම නිෂ්පාදකයින් ද සම්බන්ධ කරගෙන රාජ්‍ය වියදමින්, රාජ්‍ය කර්මාන්ත ශාලා හරහා තාක්ෂණිකව වැඩි දියුණු කළ ප්‍රමිතිගත දේශීය නිෂ්පාදන ලෙස මේ අඟුරු ලිප කොළඹ නාගරික ජනතාව වෙත මුලින්ම බෙදා දී අර්බුදයට විසඳුම් සෙවිය හැකිය. එය යළි කවදාවත් මිනිස්සු ගෑස් පෝලිම්වල නොසිටින විසදුමක් විය හැකිය.
නමුත් ඒ විසඳුමට පාලකයින් බය දැයි සිතේ. මේ කුසීත බව ඒ නිසා නොවිය හැකි ද?. ඩොලර්වලින් කරන මහා ගනුදෙණු අතර රටට නොපෙනෙන කුමක්දෝ අශිෂ්ටත්වයක කිඳී ඇත් දැයි දැන් රටේ යමක් හිතන මිනිසුන් කල්පනා කරන්නේ එබැවිනි.







