බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාගරිකා ජයසුන්දර කවදා හෝ අනිවාර්යයෙන්ම නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් දෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද (18) පාර්ලිමේන්තුවේ දී සහතික කොට ප්‍රකාශ කළේය.
කොළඹ නගර සභාව සඳහා නගරාධිපති ධූරය වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේ දී 2012 අංක 22 දරණ පළාත් පාලන ඡන්ද විමසීම් සංශොධන පනත අවභාවිතා කර පමණක් නොව, රාජ්‍ය සේවකයින්ගේ ආත්ම ගෞරවයත් විනාශ කරගෙන හැසිරී ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය නැති කළ පලාත් පාලන කොමසාරිස්වරිය ආණ්ඩුවලට කඩේ යන්නට පෙර ආණ්ඩු සදාකාලික නැති බව තේරුම් ගත යුතුව තිබුණු බව පෙන්වා දුන්නේය.
“එතුමියට අපි කියනවා එතුමිය මේ කරපු ප්‍රජාතන්ත්‍ර විරෝධී මේ වැඩේට කවදා හරි නීතිය ඉදිරියට අපි එතුමිය ගේනවා කියන එක
මේ අවුරුදු පහේ නැති වෙන්න පුලුවන්. ඊලඟ අවුරුදු පහේ නැතිවෙන්න පුලුවන්. නමුත් කවදා හරි දවසක එතුමිය රාජ්‍ය සේවයට කළ සේ අගෞරවයට විතරක් නෙමෙයි, රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කළ අගෞරවයට එතුමියව කවදා හරි නීතිය ඉදිරියට ගේනවා. ” මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සහතික කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේය.
“ඊයේ සාකච්ඡාව තුළත් මම දැක්කා අපේ නියෝජ්‍ය ඇමති තුමා කොළඹ මහ නගර සභාවේ ප්‍රශ්නය ගැන කතා කළා. කොළඹ මහ නගර සභාව විතරක් නොවෙයි අද වනවිට ලංකාවේ පළාත් පාලන ආයතනයන්හි බහුතරයක් නොමැති පළාත් පාලන ආයතනවල ඡන්ද පවත්වාගෙන යනවා. අපිට පේනවා බස්නාහිර පළාතේ නාගරික කොමසාරිස් තුමියගෙ හැසිරීමයි, මධ්‍යම පළාතේ ඉන්න නාගරික කොමසාරිස්තුමියගේ හැසිරීමයි මේ ඡන්ද ක්‍රමය තියෙන ආකාරය ගැන දෙවිදියක් තියනවා.”
අ”පි දැක්කා මධ්‍යම පළාත් නාගරික කොමසාරිස්තුමිය රහස් ඡන්දය ද විවෘත ඡන්දයද ඕන කියන එක විවෘත ඡන්දයකින් තමයි තීරණය කළේ.”
“නමුත් කොළඹ නගරසභාවේ ඇති වුන සිදුවීමේ දී අපි දැක්කා කොමසාරිස් තුමිය ඇවිල්ලා පූර්ණ නිගමනයකට ඇවිල්ල සභාව කැඳවපු වෙලාවෙ ඉඳන් එතුමිය කථා කළේ රහස් ඡන්දය ගැන. එතකොට අපේ කණ්ඩායම විපක්ෂය යෝජනා කළා විවෘත ඡන්දයක් ලබා දෙන්න කියලා. ආණ්ඩුව පැත්තෙන් යෝජනාවක් ආවා අපි රහස් ඡන්දයකට යන්න ඕන කියන එක.”
“යෝජනා දෙකක් සභාව තුළට ආවා. යෝජනා දෙකක් සභාවට ආවට පස්සෙ එතුමිය සභාවේ තියන යෝජනා දෙකම සැලකිල්ලට ගන්න ඕන. නමුත් එතුමිය ඒ යෝජනා දෙක සැලකිල්ලට ගන්නේ නැතිව එතුමිය දිගින් දිගටම කතා කළේ රහස් ඡන්දයකට යන්න ඕන කියන එක. ”
“ගරු නියෝජය කතානායක තුමනි. 2012 අංක 22 දරණ පළාත් පාලන ඡන්ද විමසීම් සංශොධන පනතේ 66 ඈ 6 වැනි ඡේදයේ තියනවා සභිකයින් දෙදෙනෙක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් නගරාධිපතිවරයා වශයෙන් තෝරා පත් කරගැනීම සඳහා යෝජනා කොට ස්ථිර කරනු ලැබූ අවස්ථාවක තෝරා පත් කරගැනීමේ ක්‍රමය පැමිණ සිටින සාමාජිකයින් විසින් යෝජනා සම්මතයක් මගින් තීරණය කරනු ලබන විවෘත හෝ රහස් ඡන්දයක් මගින් විය යුතුය.”
“ඒක හරි. ඇවිත් ඉන්න අය තීරණය කරන්න ඕන මේක රහස් ඡන්දයක් ද විවෘත ඡන්දයක් ද කියන එක. දැන් මේ පනතේ ඒක කොහොමද රහස් ඡන්දය ද විවෘත ඡන්දයද හොයන්නේ. හොයන ක්‍රමවේදය කියන එක පනතේ නෑ. ඒකට තමයි මාර්ගෝපදේශ තියෙන්නේ. මේ මගේ ලඟ තියනවා රාජ්‍ය පරිපාලන පළාත් සභා අමාත්‍යාංශය මගින් 2025 එස්.ආලෝක බණ්ඩාර ලේකම් තුමා විසින් නිකුත් කළ මාර්ගෝපදේශයක් තියනවා. මේ මාර්ගෝපදේශය තමයි එතුමිය පෙරේදා පිළිපදින්න තිබ්බේ. ඒ මාර්ගෝපදේශයෙ පැහැදිලිවම කියනවා ”
” 4.1 – නගරාධිපති, සභාපති සඳහා ඡන්ද විමසීම
පැහැදිලි බහුතරයක් නොමැති විට ඡන්ද ක්‍රියාවලිය – අපේක්ෂකයින් දෙදෙනෙක් හෝ ඊට වැඩි ගණනක දී නම් සභාපති හෝ නගරාධිපති සඳහා යෝජනා කර ස්ථිර කර ඇත්නම් කොමසාරිස්වරයා විසින් සභාවේ සභිකයින් අතර ඡන්ද විමසීමක් පවත්වා නගරාධිපති සභාපති තෝරා පත් කරගත යුතුය. මේ තරගය සඳහා ආඥාපනතේ පියරෙන් පියවර ක්‍රියාවලියක් දක්වා ඇත.”
“මුලින්ම සභාවේ සභිකයින් විසින් ඡන්ද විමසීමේ ක්‍රමය තීරණය කරනු ලැබේ. එනම් තේරීම විවෘත ඡන්ද විමසීමක් කළ යුතු ද රහස් ඡන්ද විමසීමක් කළ යුතු ද යන්නයි. එහි ඇත්තේ අපේක්ෂකයින් කීප දෙනෙක් තරග වදින ඡන්ද විමසීමක දී තෝරා පත් කරගනු ලබන ක්‍රමය පිළිබඳව සභිකයින් අතර මතභේදයක් ඇතිවුවහොත් ඒ සඳහා එක් එක් සභිකයාගේ නම් අඬගසා ඡන්ද විමසීමක් කර බහුතරයේ එකඟතාවය මත ඡන්ද විමසීමේ ක්‍රමය තීරණය කළ යුතුය.”
“මේක තමයි මේ මාර්ගෝපදේශය. පැහැදිලිවම කියනවා එක් එක් සභිකයින්ගේ නම අඬගසා… ඒ කියන්නේ සභිකයින්ගේ නම අඬගසා අහන්න ඕන ඔබතුමා විවෘත ඡන්දයකට කැමති ද රහස් ඡන්දයකට කැමති ද කියලා. එතකොට කොමසාරිස්තුමිය මේක කළේ නෑ. එතුමිය කිව්වේ මම පනත අනුව කරනවා කියලා. පනත අනුව.”
“අඩුම තරමින් එතුමිය පනතේ තියන සෙක්ෂන් එක කියෙව්ව ද?. පනතේ මොන පරිච්ඡේදයේද මේක තියෙන්නේ කියලා. අඩුම ගානෙ ඒකවත් එතුමිය කිව්වෙ නෑ. එතුමිය පුන පුනා කිව්වේ මම පනත අනුව කරනවා. එතුමියට බලය ලැබිලා තියන එතුමිය මේ ක්‍රියාත්මක කරන්න යන පරිච්ඡේදයෙ අංකයවත් කිව්වේ නෑ. ඒ අංකයවත් නොදන්න කෙනෙක් තමයි ඊයේ පෙරේදා ඇවිත් මේ කොළඹ නගර සභාවේ ඡන්දය මෙහෙයෙව්වේ. අඩුම ගානේ මේ පළාත් පාලන ආඥාපනතවත් එතුමිය අරගෙන ඇවිත් තිබුණෙ නෑ.”
“ඇයි මේක ගෙනාවේ නැත්තේ. අපේ සභිකයින් කිව්වා ඔබතුමිය මේකේ සෙක්ෂන් එක කියන්න. මොන සෙක්ෂන් එක යටතේ ද ඔබතුමිය මේ ඡන්දය කරන්නේ කියලා. ඒ සෙක්ෂන් එක කිව්වේ නෑ.. පනත අනුව පනත අනුව කියලා එතුමිය කිව්වේ.”
“එතුමියට තව දෙයක් තිබුණා. ඒක තමයි නගර සභා ආඥා පනත අනුව ගිහින් 272 /1 එෆ් වගන්තිය අනුව යන්න තිබුණා. ඒකේ තියනවා ඡන්දය කරන විදිහ. එතුමිය ඒ ගයිඩ් ලයින් එක ෆලෝ කළෙත් නෑ. ”
“ඒකෙන් පේන දේ තමයි පැහැදිලිවම එතුමිය කලින් තීන්දු අරන් ආවා මේක කොහොමහරි රහස් ඡන්දයක් තියනවා කියන එක ආවා. ඒක එතුමියගේ බලහත්කාරකමෙන් ඒ ඡන්දය පැවැත්වුවා. එතන සියලු දෙනාම විරුද්ධ වුනා. බලහත්කාරකමින් ඒක කළා. ඕන නම් එතන ඉන්න සභිකයින්ට රණ්ඩුවක් ඇතිකරගන්න තිබුණා. එහෙම හැසිරීමේ ප්‍රශ්නයක් ඇති වෙනවා. ආණඩු පක්ෂයත් එක්ක රණ්ඩුවක් ඇති කරලා කඩාකප්පල් කරන්න තිබුණා. එහෙම ගියෙ නෑ. එහෙම කරන්න අවශ්‍යතාවයක් තිබුණෙ නෑ. එහෙම හැසිරුනා නම් තමුන්නාන්සෙලා වෙන වෙන කතා කියයි. ”
“නමුත් මත තියාගන්න. එතුමිය ඊයේ පෙරේදා හැසිරීම තුළ රාජ්‍ය සේවකයින්ට තිබුණ ආත්ම ගරුත්වය නැති කළා. ඒ විතරක් නෙමෙයි අඩුම ගානෙ පනතෙ වගන්තියක්වත් කිව්වෙ නෑ. ඒක එතුමිය දැනගෙන හිටියෙත් නෑ.”
“ගුරු කතානායක තුමනි. අපට පේනවා මධ්‍යම පළාත් කොමසාරිස්තුමිය මේක විනිවිද භාවයකින් කළා. කඩුගන්නාවේ විනිවිදභාවයකින් කළා. මධ්‍යම පළාත් කොමාසාරිස්වරියට එක නීතියකුත්, බස්නාහිර පළාත් කොමසාරිස්වරියට තව නීතියකුත් නීති දෙකක් තියෙන්න බෑ. එක නීතියයි තියෙන්න පුලුවන්. ”
“නමුත් අවාසනාවකට බස්නාහිර පළාත් කොමසාරිස්වරිය ආණඩුවේ දේශපාලන උවමනාව මත එදා වැඩ කළා කියලා මුළු ලෝකයටම පෙන්නුවා. අපි විතරක් නෙමෙයි. ලෝකයම දැක්කා. ”
“ගරු කොමසාරිස්තුමියට මම එකක් කියනවා. කොමසාරිස්තුමිය මතක තියාගන්න ඕන කොමසාරිස් තුමිය… ඔබතුමිය රාජ්‍ය සේවයේ තිබෙන විනය කඩ කරලා තියනවා. ඔබ තුමිය මේ තියන මාර්ගෝපදේශන ක්‍රියාත්මක කිරීම පැහැර හැරලා තියනවා. ඒ පැහැර හැරීම තුළ රාජ්‍ය සේවයේ විනය කඩ කළ කොමසාරිස්තුමියක් ලෙස ඔබතුමිය ඉතිහාස ගත වෙලා තියනවා. ”
“ඒ හින්දා ගරු කොමසාරිස්තුමිය මතක තියාගන්න… මේ පාලකයො එනවා යනවා. අද තමුන්නාසෙලා අවුරුදු 5ක් 10ක් ඉන්න පුලුවන්. කවදා හරි මේ ආණ්ඩු වෙනස් වෙනවා. මේ රටේ පවුල් පාලනයක් ඇවිත් අන්තිම පුරුක දක්වා ඉන්නවා කියලා ආවේ. දෙවැනි පුරුකෙන් යන්න උනා. ”
“ජනතා මතය කියලා කියන්නෙ ගලේ කොටපු දේවල් නෙමෙයි. ජන මතය වෙනස් වෙනවා. මේ මාස හයේ දී ලක්ෂ 23ක් අඩු වුනා. මාස හයකදි. තව මාස හයක් යනකොට අපි දනනේ නෑ කීයක් අඩුවෙයි ද කියලා. ඒ නිසා කොමසාරිස් තුමියට අපි කියනවා දේශපාලන නායකයින්ට රටේ පාලකයින්ට මොන ආණ්ඩු තිබුණත් එහෙම කඩේ ගිහින් ඒ වැඩේ කරලා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක සෙල්ලම් කරන්න එපා. ”
“එහෙම සෙල්ලම් කරපු ලේකම්වරු අද කොහෙද ඉන්නේ. අද කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ලේකම් ඉන්නවා හිර ගෙදර. ආගමන විගමන එකේ ඩිරෙක්ටර් ජෙනරාල්තුමා අද ඉන්නවා හිර ගෙදර. ඊලඟට තව අමාත්‍යාංශවල හිටපු ලේකම්වරු කීප දෙනෙක් ඉන්නවා අද හිර ගෙදර. ඇයි ඒ. දේශපාලන නායකයන්ගේ අතකොලුවක් වෙන්න ගිහින් තමන්ගේ තිබුණු කීර්ති නාමය නැති කරගෙන අන්තිමට හිරේ ලගින්න වුනා. ”
“ඒ හින්දා මතක තියාගන්න. ආණ්ඩු එනවා යනවා. ආණ්ඩු හැමදාම තියෙන්නේ නෑ. එතුමියට අපි කියනවා එතුමිය මේ කරපු ප්‍රජාතන්ත්‍ර විරෝධී මේ වැඩේට කවදා හරි නීතිය ඉදිරියට අපි එතුමිය ගේනවා කියන එක අපි මතක් කරලා කියනවා. මේ අවුරුදු පහේ නැති වෙන්න පුලුවන්. ඊලඟ අවුරුදු පහේ නැතිවෙන්න පුලුවන්. නමුත් කවදා හරි දවසක එතුමිය මේ කළ රාජ්‍ය සේවයට කළ අගෞරවය විතරක් නෙමෙයි, රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කළ අගෞරවයට එතුමියව කවදා හරි නීතිය ඉදිරියට ගේනවා.”







