ශ්‍රියානි විජේසිංහ
මෙරට ආපදා තත්ත්වය හමුවේ කඩිනම් සහන ලබාදීම සඳහා ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව ඉතා සවිස්තරව කරුණු සොයා බැලීම සඳහා ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායමක් පසුගියදා මෙරටට පැමිණ ඇත.
ජපානයේ සිට මෙරටට පසුගියදා පැමිණි විශේෂඥ නියෝජිත පිරිස ඊයේ (01) හලාවත දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රය පරික්ෂාවට ලක් කර ඇති අතර රෝගී සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කර හලාවත පොදු ක්‍රීඩාංගණය මූලික කර ගනිමින් ඉතා කඩිනමින් බාහිර රෝගී ප්‍රතිකාර කඳවුරක් ස්ථාපිත කිරීමට ද මෙම පිරිසේ අවධානය යොමුව ඇත.
එම විශේෂඥ කණ්ඩායමට එක්වීම සඳහා තවත් අතිරේක වෛද්‍ය වෘත්තිකයන් 27 දෙනෙකු ඇතුළු පිරිසක් හෙට (03) ශ්‍රී ලංකාවට පැමිණීමට ද නියමිතය.
හලාවත පොලීසිය, නගර සභාව සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් ද හමු වී මෙම විශේෂඥවරුන් පිරිස කරුණු සාකච්ඡා කර ඇති අතර ඉදිරි දින කිහිපය තුළ ද එම පිරිස මෙරට ආපදාවට ලක් වූ ප්‍රදේශ නිරීක්ෂණය කරමින් මෙරට අවශ්‍යතා පිළිබඳව සිය මව්රටට තොරතුරු, දත්ත සහ වාර්තා ලබාදීම සිදු කරනු ලබයි.
ජපන් තානාපති කාර්යාලයේ සහ ජයිකා ආයතනයේ නියෝජිතයින් වරින් වර සෞඛ්‍ය අමාත්‍යංශයේ පිහිටුවා ඇති පැය 24 ම ක්‍රියාත්මක වන ජාතික සෞඛ්‍ය ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය වෙත පැමිණ මෙරට සෑම දිස්ත්‍රික්කයකම පවතින ආපදා තත්ත්වය පිළිබඳව ඉතා දීර්ඝව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රමුඛ නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් කරුණු සොයා බැලීමක ද නිරත වේ.
සුනාමි ව්‍යසනය හමුවේ ද මෙරටට ජපන් රජය උපකාර කළ අතර, මෙම ඇතිව තිබෙන හදිසි ආපදා අවස්ථාවේ දී ද ඒ හා සමානව ක්ෂණික මැදිහත්වීමක් සිදුකරමින් මෙරට ආපදා තත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ජපානය ඉදිරිපත්වීම පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෞද්ගලිකවත්, රජයේත් කෘතවේදීත්වය පුද කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පසුගියදා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.







