හරක් කටා හෙවත් නදුන් චින්තක වික්‍රමරත්න සහ සළිඳු මල්ෂත ගුණරත්න හෙවත් කුඩු සළිඳු ඇතුළු කණ්ඩායම මැඩගස්කරය වෙත රැගෙන ගිය පුද්ගලික ජෙට් යානය සපයා ඇත්තේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ තවමත් ක්‍රියාත්මක අභ්‍යන්තර ජාලය සමග සම්බන්ධතා පවත්වන නිර්මාණ බණ්ඩාර හෙවත් හර්බි යන පුද්ගලයෙක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ කුඩු සළිඳු සම්බන්ධව වැඩිදුර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පානදුර අධිකරණයට ඉදිපත් කළ අවස්ථාවේ දී ය.
අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව අධිකරණයට පවසා තිබුණේ ඩුබායිහි සිට මැඩගස්කර් දක්වා ගමන් කිරීමට ඔවුන්ට ජෙට් යානය සපයා තිබුණේ එල්.ටී.ටී.ඊ සංවිධාන ජාලය සමග ඍජුවම සම්බන්ධතා පවත්වන නිර්මාණ බණ්ඩාර හෙවත් හර්බි නම් පුද්ගලයා විසින් බවය.
එහෙත් මේ අවස්ථාවේ දී අධිකරණයට කරුණු පැහැදිලි කරමින් නිර්මාණ බණ්ඩාර පවසා තිබුණේ ඩුබායි රාජ්‍යයේ තමන් විසින් පවත්වාගෙන යන නිර්මාණ කාගෝ ආයතනය හරහා හරක් කටා සහ කුඩු සළිඳු ලබා දුන් මුදල්වලට ඔවුන්ට පෞද්ගලික ජෙට් යානයක් වෙන් කළ අයුරුය.
එමෙන්ම 2006 වසරේ දී ව්‍යාපාරිකයෙක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත්ත ද පසුකාලීනව නීතිපති දෙපාර්තමේන්තුව එම චෝදනාවලින් තමන්ව නිදහස් කළ බවය.






