පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවකයෙක් පැහැර ගැනීම සම්බන්ධව අධිකරණයේ ගොනුවී ඇති නඩුවකට අදාලව පේරාදෙණි විශ්වවිද්‍යාලයේ හිටපු වැඩබලන ලේඛකාධිකාරීවරියක ඇතුළු ආරක්ෂක අංශයේ නිලධාරීන් පස් දෙනෙකුට මහනුවර අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ රාජකරුණා විසින් එක් අයෙකුට රුපියල් දහසක මුදල් සහ ලක්ෂ එකහමාර බැගින් වූ ශරීර ඇප නියම කළේය.
මෙසේ මුදල් ඇප සහ ශරීර ඇප නියම වූයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු වැඩ බලන ලේඛකාධිකාරී ඒ.එම්. ජී ජයන්තා ධර්මසිරි, ප්‍රධාන ආරක්ෂක නිලධාරී එන්. ඒ. සූරියබණ්ඩාර, ආරක්ෂක නියාමක කේ. පී. පී මධුශංක, ආරක්ෂක පරීක්ෂකවරුන් වන බෙනට් ජයවර්ධන, ඩබ්ලිව්. සී. කේ. සිරිවර්ධන, ආරක්ෂක රියදුරු ඩී. එම්. එස්. කේ. දිසානායක යන අයට ය.
විද්‍යා පිඨයේ භූ ගර්භ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ තාක්ෂණ නිලධාරියකු වූ සංජීව රවීන්ද්‍ර රාජපක්ෂ ගේ රාජකාරිය ට බාධා කරමින් ඔහු පැහැරගෙන ගොස් හිංසා කළ බවට ඔහු පේරාදෙණිය පොලිසියට කළ පැමිණිල්ලක් අනුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මෙම නිලධාරීන් අද අධිකරණය හමුවේ පෙනී සිට තිබිණි.
අධිකරණය මගින් සිතාසි නිකුත් කර තිබූ ආරක්ෂක නියාමක අතුල බණ්ඩාර නමැති අය මෙදින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔහුට වරෙන්තු නිකුත් කරනු ලැබීය.
විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි නයෝමි කරුණාරත්න 2022 මැයි 27 දින ලිපියක් යොමු කරමින් ඔහුගේ විශ්‍රාම පාරිතෝෂික හා අර්ථ සාධක මුදල් දින 14 ක් තුළ නිදහස් කර ගැනීමට කටයුතු කරන ලෙස සංජීව රාජපක්ෂ නැමැති අයට දැනුම් දී ඇත.
තමන් ගේ සේවය අවසන් කරන ලද බව දන්වා තමන් වෙත ලිපියක් විශ්වවිද්‍යාලය මගින් ලබා දී නොතිබීම හේතුවෙන් ඒ සම්බන්ධව විමසීමට 2022 මැයි 30 වැනි දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සනාථන මන්දිරය වෙත ගිය අවස්ථාවේ තමන්ට මෙම අත්දැකීමට මුහුණ දීමට සිදුවූ බව සංජිව රවින්ද්‍ර රාජපක්ෂ පවසයි.
අදාළ පැමිණිල්ල පොලීසියට වෙත සිදු කිරීමෙන් පසු 2022 සැප්තැම්බර් 16 දින අධිකරණයට කළ කරුණු දැක්වීමට අනුව වාර තුනක මේ සම්බන්ධයෙන් සංජීව රාජපක්ෂ යන අය විසින්ම අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර තිබේ.
මුදල් හා ශරීර ඇප මත මුදා හරින ලද සැකකරුවන් ට යළි සැප්තැම්බර් මස 21 දින අධිකරණයේ පෙනී සිටින ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.