දිනසේන රතුගමගේ –
වවුනියාවේ සෙට්ටිකුලම නගරයේ වෙළඳසලක් තුළදී අඹුසැමි යුවලක් ඝාතනය කළ සැකකරුවා අවුරුදු 19ක තරුණයෙක් බවත්, ඔහු වවුනියාව සෙට්ටිකුලමේ සිට කිළිනොච්චියට පලා ගොස් එහි උරුතිරපුරම් ප්‍රදේශයේදී නිවසක සැගවී සිටියදී අත් අඩංගුවට ගත් බවත් සෙට්ටිකුලම පොලිසිය පවසයි.
මරා දැමූ අඹු සැමි යුවලගෙන් හොරකම් කරණ ලද රන් භාණ්ඩ පොට්ටනියත් සමගම ඊයේ (2) සෙට්ටිකුලම පොලීසිය විසින් ඔහුව අත් අඩංගුවට ගෙන ඇත.
.පොලීසිය ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී සොරා ගන්නා ලද රන් භාණ්ඩ තොගය හා මරණ දෙක සිදු කරන අවස්ථාවේදී සැකකරු විසින් පැළද සිටි ඇදුම් කිළිනොච්චියේ ළිදකට දමා තිබියදී පොලීසිය විසින් සොයා ගෙන ඇත.
ඔහු ඇදුම් ළිදට දමන ලද්දේ එම ඇදුම්වල විශාල වශයෙන් ලේ තැවරී තිබූ නිසා බවද ඔහු පොලීසියට පවසා ඇත.
සැකකරු විසින් වෙළඳසැලේ තිබී පැහැර ගන්නා ලද රුපියල් 10000 ක මුදලක්ද ඔහු ළඟ තිබී පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
සෙට්ටිකුලමේ වෙළද සැලක් පවත්වා ගෙන ගිය සෙට්ටිකුලමේ පදිංචි 72 හැවිරිදි පසුපති වර්ණකුලසිංහම් සහ ඔහුගේ බිරිඳ වන 68 හැවිරිදි කනකලක්ෂ්මි නැමති දෙදෙනා වෙළද සැලේ කාමරයක් තුළදී මරා දමා තිබුණේ පසුගිය 30 වෙනිදාය.
පුතා රාත්‍රියේ වෙළද සැල වසා දමා නිවසට ගොස් නිදා සිට පසුදින අලුයම වෙළද සැල විවෘත කිරීමෙන් පසුව සිය පියාගේ හා මවගේ මළ සිරුරු දෙක දැක ඒ බව සෙට්ටිකුලම පොලිසියට දැණුම් දී තිබුණි.
සෙට්ටිකුලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යන අතර අඩංගුවට ගත් සැකකරුව වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.