මනම්පිටිය නිමල් ජයරත්න –
දිඹුලාගල නවමිල්ලාන වෙල්යායට අද (03) අලුයම කඩාවැදුණු අටදෙනෙකුගෙන් පමණ යුත් වන අලි රංචුවක් එම යායේ අක්කර 750 කට ආසන්න පැළ ගොයම පාගා විනාශ කර ඇති බව නවමිල්ලාන ගොවි සංවිධාන නියෝජිතවරු සදහන් කරති.
සෝමාවතිය සහ මාදුරුඔය ජාතික වනෝද්‍යානයෙන් පැමිණ දිඹුලාගල ඉද්ද පිච්ච වැව ඉස්මත්තේ සහ දිඹුලාගල කන්ද අවට රක්ෂිතයේ පහලොස්දෙනෙකුගෙන් පමණ යුත් වන අලි රංචුවෙන් නිරන්තරයෙන්ම සැරි සරන බවත්, තම ගොවි සංවිධාන සාමාජිකයන්ගේ ගෙවතු වලට සහ කුඹුරුවලට පැන දැඩි හානි සිදු කරන බවත් සරණ බෙදුම් ඇල ගොවි සංවිධානයේ සභාපති අමිල චාමින්ද විජේරත්න සඳහන් කළේය.
ගම්මානයට සහ කුඹුරු යායට කඩාවැදුණු එම වන අලි රංචුව අක්කර දෙකහමාරකින් පමණ යුත් කෙසෙල් වගාවක් සහ ගම්මානයෙ පොල් ගස් හතළිහකට පමණ හානි සිදුකර ඇති බවද ගොවීහු සඳහන් කරති.
මේ පිළිබඳව වනජීවී නිලධාරීන් කොතෙක් දැනුවත් කර ඔවුන්ට වාහනවල පැමිණීමට ඉන්ධන නොමැති බව පවසමින් තම ප්‍රශ්න හා ගැටලු වලින් මගහරිමින් වන අලි පලවා හැරීමට නොපැමිණෙන බව දිඹුලාගල නව මිල්ලාන සරණ සහ සමනල බෙදුම් ඇල ගොවි සංවිධානයේ සභාපතිවරුන් සහ ගොවි සංවිධාන නියෝජිතවරු පෙන්වා දෙති.
දිඹුලාගල කන්ද අවට රක්ෂිතයේ දිවා මෙන්ම රාත්‍රී කාලයේ සැරිසරන මෙම වන අලි රංචුව හේතුවෙන් තම දරුවන්ගේ මෙන්ම තමන්ගේ ජීවිත දැඩි අවදානමකට පත්ව තිබෙන අතර තමන් කන කර උගසට තබා වෙහෙස මහන්සියෙන් වගා කරගත් කුඹුරුවල පැළ ගොයම් මේ අයුරින් විනාශ වීමෙන් පසු තමන් කළ යුත්තේ කුමක්දැයි විමසන මේ ගොවීන් පවසන්නේ නැවත ඒවා සකසා ගැනීමට ආර්ථික මට්ටමක් තමන්ට නොමැති බවය.
තම ගම්මානය සහ වෙල්යාය වන අලින්ගෙන් ආරක්ෂා කිරිමට දිඹුලාගල නවමිල්ලාන ප්‍රදේශයේ තමන් විසින් ඉදිකරන ලද විදුලි වැටද කඩා විනාශ කර ඇති බවත්, මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ප්‍රදේශයේ සිදුවන අලි මිනිස් ගැටුම අවම කිරීමටත් දිඹුලාගල කන්ද අවට රක්ෂිතයේ සැරිසරන වන අලි රංචුව පලවාහැරීමට වනජීවී නිලධාරීන්ගේ අවධානය යොමුකර ලෙසත් නවමිල්ලාන ගොවීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
ගොවීන් නගන මෙම චෝදනාව පිළිබඳව අප වෙහෙරගල වනජීවී කාර්යාලයෙන් දුරකථනයෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙකු සඳහන් කළේ නිලධාරීන්ගේ හිගය මෙන්ම අලි වෙඩි ලැබීමේ අඩුවක් ද ඇති බවය.
සෑම ගමක්ම ආවරණය කිරීමට තමන්ට ඉන්ධන පහසුකම්ද නොමැති නිසා වන අලි තර්ජනය උග්‍ර වී ඇති බව වනජීවි නිලධාරීහු පවසති.