අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුපිරි රෝහල් – වෛද්‍ය විද්‍යාල හදා පුංචි බේකරියක් සමඟ දිවිසැරිය නිම කළ අපූරු මිනිසා..

දොස්තර නෙවිල් ප්‍රනාන්දු  මිය යන්න දෙමසකට පමණ පෙර   මාධ්‍යව්දියකුට කී කතාවක්

by editor
පෙබරවාරි 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • 80 දශකයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්… විපක්ෂ නායක අමිර්තලිංගම්ට විශ්වාස භංග යෝජනාවක් ගෙනත් ඉතිහාසගත වුණා…

  • ආශා සෙන්ට්‍රල් රෝහල ඉදිකළා…. එය විකුණා සයිටම් වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළා…

  • නෙවිල් ප්‍රනාන්දු රෝහල හැදුවා… සයිටම් වසා රෝහල රජයට පවරා ගත්පසු ඉතිරි සල්ලි යොදා බේකරියක් පටන් ගත්තා…

  • රජයෙන් කෝටි 100ක් ලැබෙන්න තිබුණා… ලැබුණු ගමන් තවත් වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමේ අදහසින් හිටියා…

“හෝකන් බේකරි “

මා  තලවතුගොඩ සිට හෝකන්දර දක්වා දිවෙන මාර්ගයේ ගමන් කළේ මේ මඟ සලකුණ සොයමිනි. පාරේ වම්පස පිහිටි කුඩා අවන්හල මගේ ගමනාන්තය  විය. මා පැමිණියේ එහි හිමිකරු සොයාගෙනය. ඒ මීට මාස දෙකකට පමණ පෙරය.  සේවකයෙක් මේ කුඩා  අවන්හල පසෙක ගොඩනැගිල්ලකට මා කැඳවාගෙන ගියේය.

හෝකන් අවන්හල සහ බේකරිය

මේ කුඩා අවන් හලේ හිමියා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුය.  ඒ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රටම කතා කරන සයිටම් වෛද්‍ය විද්‍යාලය හැදූ දොස්තර නෙවිල් ප්‍රනාන්දුය. ජීවිතයේ සැඳෑ යාමය ගෙවමින් සිටි,  අවස්ථා කිහියකදී රටේ පෙරළියක් කරන්නට උත්සාහ දැරූ මේ වියපත් වෛද්‍යවරයා ඊයේ සැඳෑ යාමයේ කොවිඩ් වසංගතය හේතුවෙන් සිය අවසන් හුස්ම වාතලයට මුසු කළේය.

මාධ්‍යෙව්දියකු වන මට ඔහු  හමුන්නට එන්නට කී තැනට ගියත් මා සිතුවේ එය අපේ හමුවීම් ස්ථානයක් පමණක් කියාය. එහෙත් මේ හෝකන් බේකරි අවන්හලේ හිමිකරුද ඔහුය.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

එකල කොළඹ යමක් ඇති හැකි අය නිතර ලෙඩ රෝගවලදී ආ ගිය බාන්ස් වීදියේ තිබූ ආශා සෙන්ට්‍රල් පෞද්ගලික රෝහලේ හිමිකරුවා ඔහුය. එය විකිණු වෛද්‍ය නෙවිල් ප්‍රනාන්නදු ටික කලක් නිහඬව සිට යළිත් කරලියට ආවේ තවත් පෞද්ගලික රෝහලක් පමණක් නොව වෛද්‍යවරුන්  බිහි කරන වෛද්‍ය විද්‍යාලයයක්ද සමගිනි.

ඒ මාලබේ සයිටම් විශ්ව විද්‍යාලයයි. ඒ සා දැවන්ත ආයෝජන සිදු කළ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මේ කුඩා අවන්හලක් අටවාගෙන අහවල් දෙයක් කරන්නේදැ මට ප්‍රශ්නයක් තිබුණි.

මේ ව්‍යාපාරය ඔබතුමාගෙද?

මම ඇසීමි.

“ඔව්. මේ තැන මගේ.  කාලයක් මේ ගෙදර වහල දාල තිබුණේ.  සයිටම් එක වැහුවට පස්සෙ මගේ අතේ ඉතිරි වෙලා තිබුණු පොඩි මුදලක් යොදවලා මෙතැන බේකරියක් හැදුවා. ඊට පස්සේ මේ  මේ රෙස්ටොරන්ට් එක දැම්මා. මම හිතුෙවට වඩා වැඩේ සාර්ථකව කෙරීගෙන යනවා”.  ඔහු  කීවේ සතුටු මුහුණිනි..

කාලයක් පුරා විවිධ මුහුණුවරින් රටේ ජනතාව හමුවට ආ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු, කයින් වියපත් වුවද ඔහු තුළ වූ පෞරුෂය වියපත් ව නොතිබුණේය. අලුත් යමක් ගැන සිතන්නට ඔහු තුළ ඇති හැඟීම මෙම කුඩා  අවන්හල ද උදාහරණයකැයි සිතුවෙමි.

nevil-fanendo
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු යනු මුහුණුවර ගොඩක, චරිත ගොඩක එකතුවකැයි හඳුන්වා දුන්නාට වරදක් නැත. වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වු හෙතෙම අසූව දශකයේදී දේශපාලනඥයෙකු ලෙස කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ අයෙකි. පානදුර ආසනයේ පාර්ලිමේනතු මන්ත්‍රීවරයා ලෙසින් 1977 මැතිවරණයෙන් පත් වූ වෙද්‍ය නෙවිල් ප්‍රනාන්දු එවකට විපක්ෂ නායකවරයා වූ අප්පාපිල්ලේ අමිර්තලිංගම්ට එරෙහිව විශ්වාස භංග යොජනාවක් ගෙන ඒම නිසා ඒ කාලයේ දැඩි කතාබහකට ලක් විය. ලෝකයේ විපක්ෂ නායකවරයකුට එරෙහිව ආණ්ඩු පක්ෂයෙන් විශ්වාස භංග යෝජනාවක් ගෙනා පළමු මන්ත්‍රීවරයා ලෙස වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු වාර්තාගත විය. ඩඩ්ලි සේනානායකගේ සමීපතයකු ලෙස දේශපාලනයට පැමිණි ඔහු පසුව දේශපාලනය අත් හළේය.

පසුව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ප්‍රචලිත වූයේ කොළඹ ආශා සෙන්ට්‍රල් රෝහලේ හිමිකරුවා ලෙසින්ය.  ආශා සෙන්ට්‍රල්  රෝහල (අද ‘ද සෙන්ට්‍රල් රෝහල) තුළින් පෞද්ගලික සෞඛ්‍ය සත්කාර සේවයේ දැවැන්ත වෙනසක් සිදු කළේය. 2007 වර්ෂයේදී ආශා සෙන්ට්‍රල් රෝහල රුපියල් කෝටි 180කට සොෆ්ට්ලොජික් සමූහයට විකුණුවේය.   2009 වනවිට ‘සයිටම්’ නමින් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගොඩනැගුවේ ඒ මුදලිනි. එසේ බිලියනපති ව්‍යාපාරිකයෙකුව සිටි වෛද්‍ය ප්‍රනාන්දු, පසුගිය කාලයේදී  තම දවස ගෙවූයේ හෝකන්දර පාරේ පිහිටි කුඩා බේකරිය තම එකම ව්‍යාපාරය  කරගනිමිනි.

ඒ ගැන කතාවක ඔහුගෙන් අසාගන්නට පෙර ඔහු මගේ අවධානය යොමු කරවූයේ  තම මේසය මත තිබූ පුවත්පතකි.

“මේ බලන්න. සෞඛ්‍ය අමාත්‍යාංශයම  පිළිගන්නවා අපේ රටේ දොස්තරුවරු  1,600ක හිඟයක් තියෙනවා කියලා. සයිටම් එක තිබුණ නම් අවුරුද්දකට තව වෛද්‍යවරු පනහක් විතර බිහිවෙනවා. එහෙම තියෙද්දි තමයි එයාල මගේ සයිටම් එක වහලා දැම්මෙ” ඔහුගේ කටහඬෙහි  කළකිරීම සහ , ශෝකය මුසුව තිබුණි.

“මට පුදුම සතුටක් තියෙන්නේ මේ ළමයින්ට පත්වීම් ලැබුණු එක ගැන. එයාලා කවදහරි ලංකාවේ හොඳම මට්ටමේ වෛද්‍යවරු  වෙන එක මට සහතිකයි” … ඔහු කීවේ හැඟුම් බරවය.

එහෙත් සයිටම් වසා දැමීම නිසා උපන් කළකිරීම ද ක්ෂණයකින් මතුවිය.

“මට කියන්න, වැඩි වැඩියෙන් වෛද්‍යවරු  බිහිවෙන එකේ තියෙන වරද මොකක්ද කියලා. වෛද්‍ය වෘත්තිය කියන්නේ මුළු ලෝකෙම පිළිගත්ත රස්සාවක්.  ලංකාවෙ නැති වුණත් පිටරට ගිහිල්ලා හරි ඔවුන්ට වැඩ කරලා රටට විදේශ විනිමය ගේන්න පුළුවන්. ඒ වෙනුවට අපි කරන්නේ කාන්තාවෝ මැදපෙරදිග යවලා සල්ලි හොයන එක නේද?”

ඔහු විශ්වාස කළේ පසුගිය රජය සයිටම් වසා දැමීමට කටයුතු කළේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු 2015 ජනාධිපතිවරණයේදී  තමා මහින්ද රාජපක්ෂට සහාය දැක්වීම නිසා බවය.

“මම කවදාවත් දේශපාලකයෝ පස්සෙ ගියේ නෑ. හැබැයි ගිය පාර ජනාධිපතිවරණෙ දි මම උදව් කළේ මහින්දට. ඒ හින්දා තමයි මේ ආණ්ඩුව සයිටම් වහලා දැම්මෙ” ඔහු චෝදනා කළේය.

එය එසේ තිබියදී පසුගිය කාලය තුළ සයිටම් විරෝධී වැඩසටහන් රට පුරා වේගයෙන් ඇවිළ යද්දී මහින්ද රාජපක්ෂ කඳවුර ද සයිටම් විරෝධී ගොන්නට එකතුවිය.

“මමත් කාලයක් දේශපාලකයෙක්. හැබැයි අපිට ප්‍රතිපත්ති තිබුණා. මහින්ද පොඩි දේශපාලන වාසියක් බලාගෙන අපිව අත් හැරියා” වෛද්‍ය ප්‍රනාන්දු කීය.

එක් අතකින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය හා වෛද්‍ය පිඨ ශිෂ්‍ය සංගම් එක්ව සයිටම්, නිදහස් අධ්‍යාපනයට තර්ජනයකැයි හඬ නගද්දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කීවේ සයිටම් නිසා බාල දොස්තරවරු  බිහිවන බව ය. අවසානයේදී වෛද්‍ය වෘත්තීය සමිතියක බිහිසුණු හැසිරීම හමුවේ තම සිසුන්ට සායනික පුහුණුව ලබාදීමට නොහැකි වූ සයිටම් ආයතනය, ලංකා බැංකුවට කෝටි ගණනක් ණය වී සෑදු නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල ද රජයට පවරා ගැනුණි.

“වෛද්‍ය සභාව අපිට විරුද්ධ වුණා. හැබැයි වෛද්‍ය අධ්‍යාපනය ලබාදෙන්න අවම පහසුකම්වත් තිබ්බෙ නැති කොතලාවල පීඨය ඉක්මනට පාස් කරලා දුන්නා. මොකද ගෝඨාභය හිටියනෙ” වෛද්‍ය ප්‍රනාන්දු සිහිපත් කළේය.

“සයිටම් එක කිසිම ප්‍රශ්නයක් නැතුව ක්‍රියාත්මක වුණා. විදේශ විශ්වවිද්‍යාලවලට  ශිෂ්‍යයන් යවන ඒජන්සිකාරයෝ  කිහිපදෙනෙකුයි, මාධ්‍යකාරයොයි එකතු වෙලා තමා සයිටම් එකට විරුද්ධව වැඩ කළේ. අනික අපි වෛද්‍යවරු  පනහක්, සීයක් බිහිකළා කියලා ඒක නිදහස් අධ්‍යාපනයට  තර්ජනයක් වෙන්නෙ කොහොමද?.  මේ අය බොරු ගොතලා මිනිස්සු රැවැට්ටුවා.“

සයිටම් විරෝධය

සයිටම් ඇරඹෙන්නට දශක තුනකට පෙර මහාචාර්ය  ජී.එම්. හීන්නිලමේ,  උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල යනු ලංකාවට නැතිවම බැරි දේකැයි ඔහු විශ්වාස කළ බැවිනි. ඔහු ඒ ගැන හැටේ දශකය තරම් ඈතකදී පවා අදහස් දක්වා තිබුණි. එහෙත් උතුරු කොළඹ වෛද්‍ය විදුහල, කැලණිය සරසවි වෛද්‍ය පීඨය බවට පත්වෙමින් රජයට පවරා ගැනුණේ සයිටම් මුහුණ දුන් පන්නයේම දැඩි සමාජ විරෝධයක් හමුවේ පරාජයට පත්වෙමිනි.

නමුත් ඒ මොහොතේ එම වෛද්‍ය විදුහලේ අධ්‍යාපනය ලබමින් හුන් සිසුන්ට ඉක්මණින් සාධාරණය ඉටුකර දීමේ කොන්දක් සහ දැක්මක් එවක රජයට තිබුණු බව ද නොකියා බැරි ය. ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් එවැනි අඳුරු ඉතිහාසයක් තිබියදී සයිටම් වැන්නකට අතගැසීමත්,  තමන් උපයාගත් ධනය සියල්ල ඊට යටකිරීමත් අවදානමක් ලෙස වෛද්‍ය ප්‍රනාන්දු නොදුටුවේද?

එය නිරායාසයෙන් නැඟෙන ප්‍රශ්නයකි.

“ඒ වෙද්දි උසස් අධ්‍යාපන ඇමැති හිටියේ මහාචාර්ය විශ්වා වර්ණපාල. එයා කිව්වා වෛද්‍ය විද්‍යාල හදන්න පෞද්ගලික ආයෝජන අවශ්‍යයි කියලා. මගේ ළඟ සල්ලිත් තිබුණා. ඉතින් මම ඒ වැඩේට බය නැතුව අතගැහුවා”

කෙසේ වෙතත් සයිටම් ආයෝජනය නිසාත් නෙවිල් ප්‍රනාන්දු රෝහල නිසාත් ඔහුට සිදු වූයේ දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දෙන්නට ය. “සයිටම් ගොඩනැගිල්ල මම කාගිල්ස් එකට මිලියන 1,000කට විකුණුවා. හැබැයි ඒ සම්පූර්ණ මුදලම සයිටම් එක වසා දැමීමෙන් රස්සා අහිමි වෙච්ච අයට පාරිතෝෂික ගෙවන්න වියදම් වුණා”.

කාගීල්ස් එකට මිලියන 1000කට විකිණූ සයිටම් ගොඩනැගිල්ල…

දැන් ඔහු සතුව ව්‍යාපාරයකට කියා ඇත්තේ හෝකන්දර පාර අයිනේ පිහිටි මේ පුංචි බේකරිය පමණි. නමුත් තමන්ගේ අලුත් ව්‍යාපාරය ගැන ඔහු කතාකරන්නේ ද මහත් උද්දාමයකිනි.

“ඉස්පිරිතාලෙ හදන්න කෝටි තුන්සිය පනහක ණයක් ගත්තා. ඒකෙන් කෝටි සීයක් ළමයින්ගේ පාඨමාලා සල්ලිවලින් ගෙව්වා. ඉතිරි දෙසිය පනහ ආණ්ඩුව ගෙවනවා. හැබැයි ඉස්පිරිතාලේ ආණ්ඩුවට  පවරගත්ත එකට මට කෝටි සීයක් ලැබෙන්න නියමිතයි”.

ඒ කෝටි සීයෙන් මොකද කරන්න ඉන්නෙ?

“ආපහු වෛද්‍ය විද්‍යාලයක් පටන් ගන්නවා. මං කවද හරි මැරෙන්නෙ පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයක් හැදුවට පස්සෙයි”

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු එදා කීවේය. එහෙත් ඒ ප්‍රාර්ථනාව ඉටු වූයේ නැත. අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳක් මත ඔහු අවසන් ගමන් ගියේය. ඒ දෛවයේ හැටිය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ක්‍රීඩා අමාත්‍යවරයාගේ පූර්ණ බලය සහිතව රොෂාන් මහනාමගේ සභාපතිත්වයෙන් ක්‍රිකට් උපදේශන කමිටුවක්….

Next Post

සමගි ජන බලවේගය ඊළග මැතිවරණයට අපේක්ශකයන් සොයයි

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.