වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් හඳුන්වා දෙන බව කී සී.සී.ටී.වී ආවේශන පද්ධතිය හරහා රථවාහන වැරදි නිරීක්ෂණය කර දඩ කොළ නිවසට යැවීමේ වැඩපිළිවෙළේ මූලාරම්භය වර්ෂ 2010 වසර තෙක් දිවෙන බවත් වසර 2010 දෙසැම්බර් 29 දා කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ හය වැනි මහලේ පොලිස් සී.සී. ටී.වි කොට්ඨාසය පිහිටවු දින සිට ඉකුත් 2023 දෙසැම්බර් 31 වැනිදා දක්වා එසේ මාර්ග නීති කඩකළ රියැදුරන්ට එරෙහිව ලබා ගත් රිය නඩු සංඛ්‍යාව එක් ලක්ෂ දාහතර දහස් නවසිය අසූ දෙකක් (114,982) බවත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාසය මාධ්‍යයට තොරතුරු දක්වමින් ප්‍රකාශ කර තිබේ.
තවද පසුගිය 13 වසර තුළ රිය අනතුරු 6,512ක් මෙම පද්ධතිය මඟින් නිරීක්ෂණ කර ඇත.
පොලිස් සමිප රූප අවේෂණ කොට්ඨාසය කියන්නේ වසර 2010දී පොලිස් සී.සී. ටී.වී කොට්ඨාසය ස්ථාපිත කිරීමට පෙර 2005 වසරේදී කොළඹ සහ මොරටුව විශ්වවිද්‍යාලවල විද්වතුන්ගෙන් සැදුම් ලත් කමිටුවක් මඟින් පොලිසියේ ආවේක්ෂණ කටයුතු සඳහා සී.සී.ටී.වී තාක්ෂණය යොදා ගැනීමේ විශ්ලේෂණ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක වී තිබුණ බවය. එහි අත්දැකීම් මත වර්ෂ 2010 දී පොලිස් සී.සී.ටී.වී කොට්ඨාසය පිහිටවූ බවය.
පැවති ක්‍රමවේදය තුළ පොලිස් සී.සී.ටී.වි කොට්ඨාසය මගින් කොළඹ නගරයේ ප්‍රධාන මංසන්ධිවල සවිකර ඇති කැමරා 105කින් අඛණ්ඩ වීඩියෝ දත්ත සම්ප්‍රේෂණය වන එල්සීඩී තිර 28ක් හරහා සිදුකරන නිරීක්ෂණවලින් පසු මාර්ගයේ ඉදිරියෙන් රාජකාරියේ යෙදි සිටින පොලිස් නිලධාරීන් ලවා එම රියැදුරාට තාවකාලික රියැදුරු බලපත්‍රයක් ලබා දී ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදු විය. වරද පිළි නොගත් රියදුරන්ට සිය වරද සහිත පටිගතවීම පෙන්වා දීමට අවකාශ ද සලසා තබිණි.
නව වැබ පොලිස්පතිගේ ක්‍රමය
එම තොරතුරු අනුව අනාවරණය වන්නේ වසර 13ක් පැවති ක්‍රමයේ එක් පියවරක් වැඩි දියුණු කර රථ වාහන වැරදි කළ පුද්ගලයාගේ නිවසට දඩ පත්‍රිකාව යැවීමේ ඉදිරි පියවරක් ක්‍රියාත්මක කළ හැකිය දයන්න අත්හදා බැලීමක් පමණක් නව පොලිස්පතිවරයා යටතේ සිදුවන බවය.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ නියෝජ්‍ය පොලිස්පති, ඉංජිනේරු තුෂාර ගමලත්ගේ අධීක්ෂණය යටතේ ඉකුත් ජනවාරි 22 වැනිදා ආරම්භ වූ නව නියමු ව්‍යාපෘතියෙන් සිදුවෙමින් ඇත්තේ කොළඹ නගරයට ඇතුළුවන ගාලු පාර, පොල්දූව, කැලණි පාලම් දෙක, පරණ කදිරාන ප්‍රදේශය ඇතුළු ප්‍රධාන මංසන්ධි ඇතුළු ස්ථාන 33ක් සිසිටීවි 108ක් යොදාගෙන පැය 24 පුරා නිරීක්ෂණය කිරීමය.

මෙම වැඩිදියුණු කිරීමේ දී සිදුකර ඇති ප්‍රධානම වෙනස මූලික මාර්ග නීති කඩ කරන වාහනයේ වරද සියයට සියයක් තහවුරු කරගත් පසු අංක තහඩුව හඳුනාගෙන අංක තහඩුවට අදාළ සියලු තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීමය.
ඉන්පසු ඒ තොරතුරු වාහනය අදාළ වරද සිදුකළ අධිකරණ බල ප්‍රදේශයට ආසන්නම පොලිස් ස්ථානය වෙත යොමු කර වරද කළ වාහනයේ හිමිකරුගේ ලිපිනය අයත් පොලිස් ස්ථානයට ද ඒ තොරතුරු සමඟ අදාළ වරද දැක්වෙන සීසීටීවී දිගුව ද යොමු කිරීමය. දඩ පත්‍රිකාව නිවසට යොමු කරන අතර වරද පිළිබඳ තහවුරු කරගැනීම දර්ශනපෙළට අදාල දිගුව ඔස්සේ බලා ගත හැකිය. වරද සිදුකළ දින සිට නොව, දඩ පත්‍රිකාව ලැබුණු දින සිට දින 14ක කාලයක් තුළ දඩ ගෙවිය යුතුය.
යම් කිසි පුද්ගලයෙක් දඩ පත්‍රිකාව භාර නොගන නඩු පැවරිමට ඉල්ලා සිටින අවස්ථාවල දී ඒ වෙනුවෙන් ද කටයුතු සිදුකළ හැකිය. එහෙත් නඩු කටයුතු සඳහා ඔහුට වරද සිදුකළ ප්‍රදේශය අයත් අධිකරණයට පැමිණීම අනිවාර්ය වේ.
මෙහිදී ප්‍රධාන වශයෙන් නිරීක්ෂණය කරන්නේ මාර්ග තීරු මාරු කරමින් මාර්ග අවහිර කිරීම්, නැවතුම් රේඛාවේ නොනවත්වා ධාවනය කිරීම් සහ අනවසර නැවතුම් ස්ථානවල නවතා තැබීම්, අනතුරුදායක ලෙස පසුකර යෑම ආදී කැමරාවකින් නිරීක්ෂණය කළ හැකි සිදුවීම් ය.
මෙම ක්‍රමවේදය යටතේ මෝටර් රථ ප්‍රවාහන පනතේ 148 වගන්තියේ සඳහන් මාර්ග වැරදි සියල්ලම අදාළව දඩ පත්‍රිකා නිකුත් කළ හැකි බවත් සී.සී.ටී.වී පද්ධතිය මඟින් නිරීක්ෂණය කළ නොහැකි මාර්ග නීති කඩකිරීම් මෙම කොට්ඨාසයට අයත් මෙතෙක් රථ වාහන වැරදි නිරීක්ෂණය කරමින් ක්‍රියාත්මක වූ ජංගම වෑන් රථ දෙක මඟින් නිරීක්ෂණය කෙරෙන බව වාර්තා වේ.
ඉකුත් 22 වැනිදා සිට ඊයේ (27) දක්වා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වූයේ නියමු ව්‍යාපෘතියක් ලෙස බැවින් කිසිවකුට දඩ පත්‍රිකා නිකුත් නොකළ අතර අවවාද පත්‍රිකා නිකුත් කිරීම පමණක් සිදුවූ බව පොලිස් සමීප රූප අවේශන කොට්ඨාසය පවසයි. ( සුරේකා නිල්මිණී ඉලංගකෝන් විසින් සිළුමිණ පුවත්පතට සැපයූ ලිපියක් ඇසුරින් සැකසිනි. ඡායා රූප – රංජිත් අසංක)







