දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ ධීවර කටයුතු සඳහා භාවිතා කරන බෝට්ටුවක් මන්නාරමේ සවුත්බාර් ප්‍රදේශයේ මුහුදු වෙරළේ දමා ගොස් තිබියදී ඊයේ 13 දා පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
එම බෝට්ටුවේ ලියාපදිංචි අංකයක් හෝ වෙනත් යමක් සටහන් කොට නොමැති බව පවසන මන්නාරම පොලීසිය බෝට්ටුවේ එක තැනක ” අර්චනා” යනුවෙන් පමණක් සදහන්ව අති බවද සඳහන් කළේය.
මන්නාරමේ ධීවර සමීති නියෝජිතයෝ ප්‍රකාශ කොට ඇත්තේ එම බෝට්ටුව ශ්‍රී ලංකාවේ ධීවරයින්ට අයත් බෝට්ටුවක් නොවන බවත් අත්හැර දමා ගොස් ඇති බෝට්ටුවෙන් පැමිණි කිසිවකු මන්නාරමේ ධීවරයින් විසින් දැක නොමැති බවත්ය.
බෝට්ටුව අතහැර දමා ගිය පිරිස එම බෝට්ටුව හඳුණාගැනීමට නොහැකි වන අන්දමට ලියාපදිංචි අංක හා සෙසු විස්තර මකා දමා ඇත්තේ මේ බෝට්ටුව උපයෝගී කරගෙන කිසියම් නීති විරෝධී ද්‍රව්‍යයක් ඉන්දියාවේ සිට මන්නාරමට රැගෙන ඒම නිසා විය හැකි බවට පොලීසිය සැක කරයි.
මන්නාරම පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.