ආහාර හිඟයක් පැමිණෙන බව පැවසේනම් එකිනෙකාට දෙස් දොවොල් තබා ගන්නවා වෙනුවට ජනතාවක් ලෙස කළ යුත්තේ තම තමන්ගේ ගෙවතුවල එළවළු වැවීම බව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන පවසයි.
වගාව සඳහා පොඩි ඉඩමක් හෝ නොමැති නම් නිවාස තුළ එළවළු වගාව කළ යුතු බව ඇමතිවරයා යෝජනා කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.
ඇමතිවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.
“කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව අද (16) රැස් වුනා. අපි යෝජනා කළා කෘෂිකර්ම අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා තම තමන්ට අවශ්‍ය එළවළු වැඩි ප්‍රමාණයක් ගෙවතු වගා ලෙස දිස්ත්‍රික්කය තුළම වගා කරන කඩිනම් ජාතික වැඩපිළිවෙළක් සකස් කරන්න.“
“ මොකද සිංහල අවුරුද්ද වනවිට ආහාර අහේනියක් එනවා කියලානෙ කියන්නෙ. එවැනි අහේනියක් ඇති නොවන විදිහට එළවළු සඳහා ආහාර අතිරික්තයක් ඇති කරගන්න වගා සංග්‍රාමයක් කෙටි කාලීනව පටන් ගැනීම තමයි විසඳුම වෙන්නේ.
වෙන විසඳුමක් නෑ. හිඟයක් තියනවානම් නිශ්පාදනය වැඩි කරන ක්‍රමවේදයක් තියෙන්න ඕන. රටවාසීන් ලෙස කාටවත් දෙස් දෙවොල් තියාගෙන ඉන්නේ නැතිව තමන්ට තියන කුඩා ඉඩමක හෝ, ඉඩමක් නැතිනම් නිවසේ තැනක හෝ වගාවක් කරන්න පුලුවන්.
හැබැයි ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය නිසි මගපෙන්වීමක් කරන්න වෙනවා. වෙළෙඳ ඇමතිවරයා කීවේය.







