ඉඳුනිල් කහටපිටිය –
සල්මන් ඛාන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ ලෝරන්ස් බිෂ්නෝයි කල්ලියේ සාමාජිකයින් සිව් දෙනෙකු නවී මුම්බායි පොලිසිය විසින් අද (01) අත්අඩංගුවට ගත්තේය. මිනීමරු සැලසුම්කරුවන්ගේ සැලසුම වී තිබුණේ සලමන් ඛාන්ව ඔහුගේ ගොවිපල පිහිටි පන්වෙල්හි දී ඝාතනය කිරීමය . ඝාතනයට අවශ්‍ය ආයුධ සැපයා ගන්නේ පකිස්ථානයෙනි. හෙළිදරව්වන තොරතුරු අපටත් සම්බන්ධ කතාවක් කීවේය. ප්‍රහාරය එල්ල කළ පසු සැකකරුවන්ගේ ගමනාන්තය වී තිබුනේ ලංකාවය. ඒ ගමන සූදානම් කර තිබුණේ බෝට්ටුවකිනි. තමිල්නාඩුවේ කන්නියාකුමාරි සිට ධීවර බෝට්ටුවකින් ශ්‍රී ලංකාවට පැන ගැනීම සැලසුමය.
සලමන් ඛාන් සහ ලොරන්ස් බෂ්නෝයි අතර ආරවුලට අවුරුදු 26ක ඉතිහාසයක් සහිත සිද්ධියක් මුල් වී තිබේ. එහි මුල 1998 තෙක් ඈත සිද්ධියක් වෙත යන්නේය. බිෂ්නෝයිවරු එක් ඉන්දියානු ගෝත්‍රයකි. ජෝද්පූර්හි බිෂ්නොයිවරු blackbuck නැමැති මුව වර්ගයට අතිශය ගෞරව කරති. ඊට හේතුව වන්නේ blackbuck සතුන් ඔවුන්ගේ අධ්‍යාත්මික නායක ගුරු භගවාන් ජම්බේෂ්වර් නොහොත් ජම්බාජිගේ පුනරුත්පත්තිය ලෙස සලකන බැවිනි.
“Hum Saath Saath Hain” චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර රාජස්ථාන් ප්‍රාන්තයේ Kankani ප්‍රදේශයේ දී blackbuck සතුන් දෙදෙනෙකු සලමන් ඛාන් විසින් දඩයම් කර මරා දැම්මේය. 1972 ඉන්දීය වනජීවී (ආරක්ෂක) පනතේ 9/51 වගන්තිය යටතේ ඔහුට චෝදනා එල්ල විය. ජෝද්පූර් අධිකරණය සල්මන් ඛාන් එම අපරාධයට වරදකරු කළේය. සිද්ධියෙන් වසර 26ක් ගියත් බලපත්‍ර රහිත ගිනි අවි භාවිතා කිරීම, සංරක්ෂිත සත්ත්වයින් දෙදෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධව වරදකරු වුවත් පස් අවුරුදු සිර දඬුවමක් නියම කළත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද සලමන් ඛාන් වරදකරු කළත් ඔහු නිදැල්ලේය. ලංකාවේ වගේමය. අවුරුදු 26කින් පසුත් සලමන් ඛාන් විෂයෙහි නීතිය ක්‍රියාත්මක වුනේ නැතැ. බිෂ්නෝයිවරුන්ගේ උදහසට සලමන් ඛාන් ලක් වන්නේ මේ පසුබිමේ දීය.
සලමන් ඛාන් මරන්න හදන ලෝරන්ස් බිෂ්නෝයි

මේ වනවිට සලමන් ඛාන්ට එරෙහිව අවි මෙහෙයවන ලෝරන්ස් බිෂ්නෝයි blackbuck ඝාතන සිද්ධිය වනවට පස් හැවිරිදි දරුවෙකි. ඔහු ඉපදෙන්නේ 1993 වසරේ පෙබරවාරි මස 12 වැනිදා ය. සලමන් ඛාන් මුවන් මරන්නේ 1998 දී ය.
බිෂ්නෝයි ගැන කියනවා නම් ඔහු නූගත් මැරයෙක් නොවේ. ඔහු පන්ජාබ් විශ්වවිද්‍යාලයේ නීති උපාධි ධරයෙකි. ඔහුට මුල්ම අපරාධ චෝදනා එල්ලවන්නේ ඔහු සිය ශිෂ්‍ය දේශපාලනය කරන වර්ෂ 2010-2012 අවධියේය. එහිදී බන්ධනාගාරගතවන බිෂ්නෝයි බොහෝ අපරාධකරුවන් සමග සම්බන්ධතා ඇති කරගන්නේය. බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණි පසු අයුධ ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වන්නේය. ඔහුගේ සරසවි ජීවිතය තුළ ඔහු කළ එක් දෙයක් වන්නේ ඔහුගේ මැර කල්ලිය වැඩි දියුණු කරගැනීමය.
නීති උපාධියක් ගෙන වර්ෂ 2013 දී එළියට බසින බිෂ්නෝයි තරුණ මැරයාව දේශපාලකයන් විසින් භාවිතා කළ බවට චෝදනා විය. දේශපාලක ප්‍රතිවිරුද්ධකරුවන් ඝාතන කොන්ත්‍රාත් ලැබුණු බව කියැවිනි. ඒ අතර ඔහු නීති විරෝධී මත් පැන් වෙළෙඳාම පටන් ගත්තේය. සිය කල්ලිය තුළ මිනීමරුවන්ට ද ඉඩ සැලසුවේය. වර්ෂ 2014 දී බන්ධනාගාරගත වූ බිෂ්නෝයි තමන්ගේ අපරාධවලට එරෙහිව සිටි සාක්ෂිකරුවන් ඝාතනය කළේය. එමෙන් දේශපාලන මැරයන් ගේ සමීප මිතුරෙක් බවට ඔහු පත්වුනේය. එහෙත් බිෂ්නෝයි මේ සියලුම චෝදනා ප්‍රතික්ෂේප කළේය.
මේ වනවිට බිෂ්නෝයි පසුවන්නේ තිහාර් බන්ධනාගාරයේය. එහෙත් ඔහුගේ මැර කල්ලිය ඉන්දියාවේ ප්‍රාන්ත පහක් පුරා මේ මොහොතේදීත් ක්‍රියාත්මකය. ඔහුට ඛලිස්ථාන් හිතවාදී කල්ලිවල සහය ලැබෙන්නේය. ඔහු ගේ මැර කල්ලිය වෙඩික්කරුවන් 700කගෙන් සමන්විතය.
සලමන් ඛාන් සහ බිෂ්නෝයි ගැටුම

නීතිය නැවුන blackbuck සිද්ධියට ලෝරන්ස් බිෂ්නෝයි සම්බන්ධ වන්නේ වර්ෂ 2018 දී ය. 2018 දී කප්පම් ගැනීමේ සිද්ධියක් සම්බන්ධව බිෂ්නෝයි ජෝද්පූර් අධිකරණයේ පෙනී සිටියේය. ලෝරන්ස් බිෂ්නෝයි ද බිෂ්නෝයි ප්‍රජාවේ සාමාජිකයෙකි. ඔහු එහිදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කීවේ ජෝද්පූර්හි දි සලමන් ඛාන් ඝාතනය කරන බවය.
“එවිට ඔහු බිෂ්නෝයිවරු වන අපේ සැබෑ අනන්‍යතාවය දැන ගනීවි… පොලිසියට අවශ්‍ය ව්‍යාජ චෝදනාවලට කොටු කරන මා මා සැබෑ අපරාධකරුවෙක් කරන්න, මම කියන්නම්… මම ජෝද්පූර්වලදි සලමන් ඛාන්ව මරණවා.”
ඒ පොරොන්දුවේ සිට බිෂ්නෝයි සලමන් ඛාන් ඝාතනය කිරීමට සැලසුම් හැදුවේය.
අද අත් අඩංගුවට ගත් සිවු දෙනා
සලමන් ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව භාරගෙන සිටියදී අද (1) පොලිස් අත් අඩංගුවට පත් වූ සිවු දෙනා ධනංජය නොහොත් අජේ කාශ්‍යප්, ගෞරව් භාතියා නොහොත් නහ්වි, වස්පි ඛාන් හෙවත් වසීම් චික්නා සහ රිස්වාන් ඛාන් හෙවත් ජාවෙඩ් ඛාන් ය..
ප්‍රහාරය එල්ල කිරීම සඳහා අපරාධකරුවන් සල්මන් ඛාන්ගේ නිවස අසල සහ ගොවිපළේ ඔත්තු බැලිමක් ද සිදු කර ඇති බව පොලිසිය පවසයි. මුම්බායි, රයිගාඩ්, නවී මුම්බායි, තානේ, පූනේ සහ ගුජරාට් යන ප්‍රදේශවලින් පැමිණි ලෝරන්ස් බිෂ්නෝයි සහ සම්පත් නේරාගේ කල්ලියේ තරුණයින් 60ක් 70ක් පමණ පැමිණ සල්මන් ඛාන් දෙස අවධානයෙන් සිටින බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.
මේ අතර චූදිත අජේ කාශ්‍යප් වීඩියෝ ඇමතුමක් මගින් පකිස්තානයේ ඩෝගාර් නම් පුද්ගලයකු සම්බන්ධ කරගෙන AK47 වර්ගයේ ගිනි අවි පකිස්ථානයෙන් ඇනවුම් කර තිබේ.
කෙසේ වෙතත් සලමන් ඛාන්ට සාමදානයේ රැඳී සිටීමට දැන් බිෂ්නෝයි කල්ලිය ඉඩ නොදෙන තත්ත්වයක් ඇති වී ඇත. පසුගිය අප්‍රේල් 14 දා වෙඩික්කරුවන් දෙදෙනෙක් සලමන් ඛාන් ජීවත්වන බන්ද්‍රා හි ගැලැක්සි මහල් නිවාසයෙන් පිටත සිට නිවසට වෙඩි තැබුවේය.
සීසීටීවී දත්ත ඔස්සේ පරීක්ෂණ කළ ඉන්දීය බුද්ධි අංශ විකී ගුප්තා සහ සාගර් පල් යන පුද්ගලයින් දෙදෙනෙකු ගුජරාට් ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත්තේය. ඔවුන් දෙදෙනා ලෝරන්ස් බිෂ්නෝයිගේ කල්ලිය සමඟ සබඳතා පැවැත්වූ බවට තොරතුරු ලැබිණි.
මෙම නඩුවේ තුන්වන විත්තිකරු වන අනුජ් තාපන් අප්‍රේල් මාසයේදී අත්අඩංගුවට ගනු ලැබීය. ඒ ආයුධ සැපයීමේ වරද සම්බන්ධයෙනි. කෙසේ වෙතත්, තුන්වන විත්තිකරු තාපන් මැයි 1 වන දින මුම්බායි පොලිසියේ අපරාධ අංශයේ සිරමැදිරියක වැසිකිළිය තුළ ගෙළ වැළ ලාගෙන මියගොස් තිබිණි.
තත්ත්වය යහපත් නැත. blackbuck මුවන් ඝාතන අපරාධය කරනවිට ඔහුගේ වයස අවුරුදු 33කි. දැන් සලමන් ඛාන් අවුරුදු 59ක මිනිසෙකි. සිය මුදල බලය සහ සම්බන්ධතා යොදා ගෙන අපාරධ වරදකට දඬුවම් නොලැබ අවුරුදු 26ක් ඔහු නිදහසේ සිටියේය. එවිට මිනිස්සු නීතිය අතට ගන්නේය. දැන් සලමන් ඛාන් මරණ බිය විසින් නොනිදන මිනිසෙක් බවට පත් කර ඇති බව පෙනේ. ඔහුට නිස්කාන්සුවක් ඇති දැයි නොදනිමු. මේ වර්ගයේ අපරාදකරුවන් අපේ රටේ සුලභය. එහෙත් බිෂ්නෝයිලා නැත. ඒ නිසා ඔවුන් මේ මොහොතේ සුවෙන් සිටිනු ඇතැයි සිතුවත් අවසාන මොහොත බිහිසුනු වන්දි ගෙවිම් සහිත වීම ලෝක ධර්මතාවය ය.
දෛවයට අපට තරම් හදිස්සි නැත. එය දඬුවම් දෙන්නේ බොහෝ ඉවසීමෙනි. මේ අප දකින්නේ එතෙක් රඟන රැඟුම්ය.









