සනාගේ පුහුණුකාරකම අවුරුද්දකින් දීර්ඝ කර තිබේ. සනා පුහුණු කාර තනතුරට පත්වන විට මතුවුන විරෝධය දැන් කොතැනකවත් නැත.
ඔහු එම තනතුරට එනවිට සියල්ලන්ටම මෙන්ම අපටත් ගැටලු තිබිණි. වරෙක ඔහු ක්‍රිකට් පවාදීමේ චෝදනා මත අයිසීසීය විසින් සියලු ආකාරයේ ක්‍රිකට් තහනමකට ලක් කළේය.
සනා මින් පෙර පුහුණුකාර තනතුර කරන්නට ගොස් හොඳටම අනා ගත්තු අත්දැකීම් ද රටට තිබේ. හරීන් ප්‍රනාන්දු වැනි ක්‍රීඩාවට වඩා ගේම් සඳහා රුචියක් දක්වන ගෙම් කාරයෙකුගේ ක්‍රීඩා ඇමතිකම යටතේ ඔහුගේ සමීප සගයෙක් ලෙස මතුවන සනා තාවකාලික පුහුණුකරුවෙක් ලෙස හෝ පත්වීම බොහෝ දෙනෙකුට රුචි වූයේ නැත.
හේතුව ක්‍රිකට් තිබුණේ කුණු කානු පල්ලේ වීමය. ඇඟේ හයියට බැට් එකෙන් බෝලයට ගැසීම ක්‍රිකට් යැයි සිතු මී හරක් පිරිසක් පිට්ටනිය මැද තුට්ටු දෙකේ ෂෝ දමමින් පාතාලයේ මැරයින් ලෙස හැසිරීමින් විලි ලජ්ජා නැති ලෙස මැච් පැරදෙමින් සිටින වකනුවක් ගතවෙමින් තිබෙන විට මොකා ගැනත් සැකය.
අවසානයේ දී මේ තරගාවලි සියල්ලේදීම මෑන් ඔ්ෆ් ද සීරිසයස් සනා දැයි සිතෙන තරමට වැඩේ සිද්ධ වුනේය. සනා වැඩේ පටන් ගත්තේ කණේ කඩුක්කන් මාළ වළළු කූරු හවඩි දාගෙන කොණ්ඩා පාටකරගෙන පිට්ටනිය මැද තප්පුලන ලැබූ හරක් පැටව් ටික පොලිම් කර කොණ්ඩ කප්පවා කරාබු ගලවා පිළිවෙළකට ඇදුමක් අන්දව පිට්ටනියට යැවීමෙනි. තමන් වැල්ලේ කෙලින අයිආර්සී කාරයින් නොව රටේ තානාපතිවරුන් බවට වූ වගකීම ක්‍රීඩයකයින්ට ලබා දී තිබුණ අයුරු දුටුවෙමි. ඒ සනා පුහුණුකරු වී අප ක්‍රීඩා කළ ඉන්දියාව සමග තරගාවලියේ දී ය.
මුන් ටික හික්මවා පිටියට එන ආකාරය දුටු නම් මැච් පැරදුනත් කමක් නැති බව සිතුනේය. මහත්තුරු වී ක්‍රිකට් ගහනු දකින විට අම්මපා හිතුනේ මේ විදිහට ක්‍රිකට් ගසා පැරදුනත් කමක් නැති බවය.
ඒත් අප දුටුවේ සුපිරි ගේමකි. විස්සයි විස්ස තරගාවලිය පරාද වූ බව සැබෑය. තුන්වැනි තරගය සම වුනේය. ඉන්දියාව දිනන්නේ සුපිරි පන්දු ඕවරයේ දී ය.
එහෙත් එක් දින තරගාවලිය මුලුමනින්ම වෙනස් වූයේය. ඉන්දියාව තරගාවලියම පරාදය. එංගලන්ත ටෙස්ට් තරගාවලියේ දී ක්‍රීඩා කළ සුපිරි ආකාරය පිළිබඳ කතාවක් නැත. තරග තුනෙන් දෙකක් වෙනස්ම තත්ත්ව යටතේ ක්‍රීඩා කර පැරදුනත් තුන්වැනි තරගයේ දී එංගලන්ත කණ්ඩායම එංගලන්ත තණතීරුවලදී පරාජය කරනු ලැබුවේය.
ඒ ජයග්‍රහණයේ ගැම්ම දැන් ගාලු ක්‍රීඩාංගනයේ ප්‍රකටය. මුල් තරගය විශිෂ්ට ලෙස දිනුම්ය. දෙවැනි තරගය අතිවිශිෂ්ට දිනුමක් අභියසය.
සනාගේ පුහුණු කාර ධූරය අවුරුද්දකින් දීර්ඝ වන්නේ මේ වටපිටාවේ දී ය. අප මේ යථාර්ථය දැන් තේරුම් ගත යුතුය. වැරැද්ද තිබුණේ තාක්ෂණයේ නොවේ. හැකියාවේත් නොවේ. තාක්ෂණය සහ හැකියාව හදන්නට ක්‍රිකට් ව්‍යුහය තුළම අවස්ථා තිබේ. අපට අවශ්‍යවී තිබුනේ විද්‍යාත්මක පුහුණු කරුවෙක් යටතේ සිද්ධ කරන ශාස්ත්‍රීය ශික්ෂණයක් නොවන සනා කියා දී ඇත.
අපට අවශ්‍යව සිටියේ පිස්සු කෙළින පොඩි ඒකෙකුට කණට දෙකක් ගසා අ$$ට හු# ගන්නේ නැතිව වැඩේ කරපිය ප#$ කියන්නට හැකි එකෙකි. කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකි සුදුසුකමක් ඒ සඳහා සනාට තිබිණි. හිතූ හිතූ ලෙස පිස්සු කෙළින වැද්දන් කණ්ඩායමක් වෙනුවට දැන් මහත්මා ශික්ෂණයෙන් යුතුව ලෝකයටත් ආඩම්බරයක් වෙන ලෙස ඒ කණ්ඩායමම ක්‍රිකට් ගසමින් සිටිති. රටේ ගෞරවය ආරක්ෂා කරන තානාපතිවරුන් ලෙස හැසිරෙමින් තමන්ට හැකි උපරිමය කර පැරදුනාට කිසිවෙක් වචනයක් කියන්නේ නැති බව දැන් පැහැදිලි වී තිබේ. ඒ ගෞරවය නම් නිසැකවම සනාටය.
ඒ සම්බන්දව ඔහුට හිස නමා ආචාර කළ යුතුය. පුහුණුකරණයේ ඉහළම ශාස්ත්‍රීය දැනුම් පද්ධතියකින් කණ්ඩායමක ක්‍රිකට් කළමනාකරණය කළ හැකිවා සේම ඊට හසුනොවන ප්‍රායෝගික දර්ශක ප්‍රමාණයක් බලගැන්වීමෙන් රටට අනන්‍ය ක්‍රිකට්ව ගැඹුර ස්ඵර්ශ කරන ආකාරය දැන් පෙනෙමින් තිබේ.
කුලප්පු වුන කුළු හරක් මෙල්ල කළ හැක්කේ වැඩේ දන්නා ගොපල්ලෙකුට මිස සත්ත්ව විද්‍යාඥයෙකුට නොවන බව සනා කියා දී ඇත.







