දිවයිනේ ශ්රීඝ්රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වශයෙන් අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වූ සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික පොලිස්පති ආචාර්ය ජයන්ත වික්‍රමරත්න මහතා පත් වී තිබේ. කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ ගෞරව උපාධියක් ලබා තිබේ. 1968දී තරග විභාගයකින් ශ්‍රී ලංකා පොලිස් සේවයට සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස එක් වූ වික්‍රමරත්න මහතා තිස් වසරක් පුරා ශ්‍රී ලංකාව ගිල ගෙන තිබූ සිවිල් යුද්ධයේ අවසන් තීරණාත්මක කාල සීමාවේ එනම් 2008දී මෙරට පොලිස්පතිවරයා ලෙස පත් විය. එම කාල සීමාවේ මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු තුළ වූ කැපවීමට කෘතවේදීත්වය පිරිනමමින් 2009දී කැලණිය විශ්ව විද්‍යාලය ඔහුට ගෞරව ආචාර්ය පදවියක් පිරිනැමීය.
පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතරුව ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස. අල්ලස් හා දූෂණ විමර්ශන ස්වාධීන කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු ලෙස, කාන්තා හා ළමා කටයුතු අධිකාරියේ සහ ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර ඇත. 2017දී සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමට අධ්‍යක්ෂවරයෙකු ලෙස එක් වන ඒ මහතා එහි හිටපු සභාපති ටී. කරුණාසේන මහතා 2022.06.01 දින විශ්‍රාම ගැනීමත් සමඟ සමාගමෙහි සභාපතිවරයා ලෙස පත් විය. කොල්ලුපිටියේ පිහිටි සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදී පැවැති චාම් උත්සවයකදී මහා සංඝරත්නයේ ආශිර්වාද මැද පසුගිය දිනෙක වික්‍රමරත්න මහතා සිය රාජකාරි ඇරඹීය. සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජික සාමාජිකාවෝ සහ කාර්ය මණ්ඩලය එක් වී සිටියහ.