සූරියවැව නුවන් ජයසේකර –
පොලිස් නිළධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදී රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු හිටපු අමාත්‍ය වරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙද ආරච්චි මහතාගේ පුත්‍රයා හා ලේලිය හෙට (08) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වලස්මුල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මහේෂ් වාකිෂ්ඨ මහතා අද (07) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ තංගල්ල හිටපු නගරාධිපති රවිදු වෙදආරච්චි සහ ඔහුගේ බිරිය වන නෙත්මි හරින්දි නැමති සැකකරු හා සැකකාරියයි.
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු රවිඳු වෙදආරච්චි හා ඔහුගේ බිරිය විසින් පසුගිය දින ඔවුන්ට අයත් කැබ් රථයකින් පිටුපස ආවරණය නොකරන ලද කොටසේ අනාරක්ෂිත ලෙස ශීතකරණයක්ද රැගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවෙන් අධිවේගී මාර්ගයට ඇතුළු විමට උත්සාහ කිරීමේදි එහි රාජකාරියේ යෙදි සිටි පොලිස් නිළධාරීන් විසින් ඊට ඉඩ ලබා නොදීම හේතුවෙන් සැකකරු හා සැකකාරිය විසින් එහි රාජකාරියේ යෙදිසිටි පොලිස් නිළධාරීන්ට පරුෂ වචනයෙන් බැනවැදි රාජකාරියට බාධා කරමින් සාපරාධී බළහත්කාරය පා තිබේ.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු හා සැකකාරිය අත්අංගුවට ගැනිමට පොලිස් විමර්ශන ආරම්භ කෙරුණු පසුබිමක් තුළ ඔවුන් දෙපළ පෙරේදා (06) සවස නිතීඥයෙකු මාර්ගයෙන් වීරකැටිය පොලිසියට බාරවි තිබේ. පොලිසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය අද (07) දහවල් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදි ඉදිරිපත් කෙරුණු කරුණු සලකා බැලූ වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා දෙදෙනා හෙට (08) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරණ ලෙස නියෝග කළේය.







