සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන ඇතුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කළ සත්‍යග්‍රහයට සම්බන්ධ වී ඇත්තේ එම පක්ෂයේ අනුමැතියකින් තොරව බැවින් ලබන සතියේ පැවැත්වෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මේ සම්බන්ධව දැඩිව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි..
43 සේනාංකයේ ප්‍රධානී චම්පික රණවකගේ පූර්ණ අනුදැනුම සහිතව කරුණාරත්න පරණවිතාන ඇතුළු පිරිස මෙම සත්‍යග්‍රහයට එක්වීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ දැඩි විරෝධය පල වී තිබිණි. එහෙත් මන්ත්‍රී කණ්ඩායමේ තවත් පිරිසක් 43 සේනාංකයේ පියවරට ප්‍රසාදය දක්වා ඇතැයි ද පැවසේ.
එමෙන්ම මේ වනවිට චම්පික රණවක ඇතුළු 43 සේනාංකයේ පිරිස් සමාජ මාධ්‍ය හරහා විවේචනය කිරීමේ වැඩපිළිවෙළක් සමගි ජනබලවේගයට සම්බන්ධ මාධ්‍ය හිතවතුන් මාර්ගයෙන් දියත් වී ඇති බවත් ඉතා විශ්වාස කටයුතු මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධව චම්පික රණවක පවසන්නේ අද රට මුහුණපා ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම් සියලු පාර්ශව එකට එකතු වී පොදු වැඩපිළිවෙළක් ගොඩනගා ගත යුතු බවය.
43 වැනි සේනාංකය වශයෙන් තමන් ඇතුළු කණ්ඩායම එක්සත් ජාතික පක්ෂය පමණක් නොව, අනෙකුත් පක්ෂ සමග ද කටයුතු කරන බවත්, 43 සේනාංකයේ සංවත්සර උත්සවයට එජාපයේ නියෝජ්‍ය නායක ඇතුළු පිරිසක් ද සහභාගී වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.







