ඉදිරි මැතිවරණවලට මුහුණ දීම සඳහා පිහිටවීමට යෝජිත නව දේශපාලන සංධාන තුනට එක් නොවී ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් නව සන්ධානයක් ගොඩනැන්වීමට එම පක්ෂය තීරණය කර ඇත.
නව සන්ධානය ගොඩනැගීම සඳහාවන මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ශ්රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පැවසීය.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ නායකත්වයෙන් ගොඩනැගෙන නව සන්ධානයට එක්වීමට මේ වනවිට ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු අනෙක් දේශපාලන පක්ෂ ප්රධානීන් රැසක් සිටින බව හෙතෙම අනාවරණය කළේය.
ආණ්ඩුවෙන් ඉවත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම පාර්ශවය සමග ද සාකච්ඡා මේ වනවිටත් පැවැත්වෙන බවත් ඒ සාකච්ඡා සාර්ථක මට්ටමින් ඉදිරියට යන බවත් මහලේකම් දයාසිරි ජයසේකර වැඩිදුරටත් කීවේය.
ඒ අනුව ජනවාරි මාසය වනවිට නව සන්ධානයේ කටයුතු සියල්ල අවසන් කර එළි දැක්වීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.







