ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර දකුණු අප්‍රිකාවේ Kimberley ක්‍රීඩාංගනයේ ඊයේ පැවති එක්දින ජාත්‍යාන්ත තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් අත් කරගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමත් වූයේය.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නිරත වූ කණ්ඩායමේ නායිකා Laura Wolvaardt නොදැවී කදිම ශතකයක් රැස් කළාය. පන්දු 141කට මුහුණ දී ඇය ලබා ගත් ලකුණු 110ට අන්තර්ගත වූයේ හතරේ පහර 06ක් පමණි. ඇය සමග එක් වී සිව්වන කඩුල් සඳහා නොබිඳුණු වාර්තාගත ලකුණු 147ක සම්බන්ධයක් ගොඩනැගූ Marizanne Kapp නොදැවි ලකුණු 80ක් ලැබුවාය. ඇය පන්දු 84ක දී ලබා ගත් ලකුණු 80ට අන්තරගත වූයේ හතරේ පහර 07කි.
කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම මුලින්ම පන්දු රැකීම තෝරා ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 226කට සීමා කළේය. ඕවර 50 අවසන් වීමට එක් පන්දුවක් තිබිය දී ශ්‍රි ලංකා ක්‍රීඩිකාවෝ සියලු දෙනා දැවී ගියහ.
සුපුරුදු පරිදි මේ තරගයේත් සැලකිය යුතු ලකුණක් වාර්තා කළේ නායක චමරි අතපත්තු පමණි. චමරි හතරේ පහර 09ක් සමග ලකුණු 51ක් වාර්තා කළාය. ඒ පන්දු 69ක දී ය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කවීෂා දිල්හාරි ලකුනු 2ක්, නිලක්ෂිකා සිල්වා ලකුණු 36ක්, හස්මිකා කරුණාරත්න ලකුණු 33ක් රැස් කළහ.
දකුනු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් Ayabonga Khaka පන්දු ඕවර 6.5ක් පමණක් යවා ලකුණු 28කට කඩුළු 03ක් ලැබුවාය. Nadine de Klerk පන්දු ඕවර 6ක් යවා ලකුණු 23ට කඩුළු 03ක් ලැබුවාය. Nonkululeko Mlaba පන්දු ඕවර 08ක් යවා ලකුණු 40කට කඩුළු 02ක් බිඳ හෙළුවාය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් ට ආරම්භක අවස්ථාවේ ශ්‍රි ලංකා පන්දු යවන්නියන් විසින් සැලකිය යුතු පීඩනයක් එල්ල කළහ. ඔවුන්ගේ පළමු කඩුල්ල දැවී යන්නේ ලකුණු 23 දී ය. දෙවැන්න ලකුණු 27 දී ය. පන්දු ඕවර 20ක් වනවිට ලකුණු 86කට කඩුළු 3ක් බිඳ වැටී තිබිණි.
එහෙත් ඉන් අනතුරව ආරම්භක පිතිකාරිණිය වූ නායක Laura Wolvaardt සමග එක් වූ නොම්බර 05 පිතිකාරිණිය Marizanne Kapp නොදැවී විශිෂ්ට ලකුණු 147ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් තරගය නිමා කළහ. දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු කඩුළු 07ක විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගත්තේය.
පන්දු යැවීමේ දී අචිනි කුලසූරිය ඔෂධී රණසිංහ සහ ඉනෝකා රණවීර කඩුල්ල බැගින් ලැබූහ.