බංගලාදේශය තියුණු සටනකින් පසු පරාජය කිරීමත් සමග ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි වටයට තේරුණ ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සිය මුල්ම තරගයට සහභාගී වේ. ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමත් සමගය.
ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7යි 30ට මෙම තරගය පැවැත්වීමට නියමිතව ඇත. ඊයේ පැවති හොංකොං සහ පකිස්ථාන කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු 155ක වාර්තාගත ජයග්‍රහණයක් අත් කරගත් පකිස්ථානු කණ්ඩායම අවසන් වටයට තේරීමත් සමග ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව සහ පකිස්ථානය සුපිරි වටයට තේරී තිබේ.
ඇෆ්ගනිස්ථානය සමග පැවති පළමු වටයේ තරගයෙන් බිහිසුණු පරාජයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි වටයේ කණ්ඩායම් හතර අතරට එක්වූයේ දැඩි ආයාසයකිනි. පළමු වටයේදී බංගලාදේශය සහ ශ්‍රී ලංකාව පහසුවෙන් පරාජය කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද තරගයට සහභාගී වන්නේ දැඩි ආත්ම විශ්වාසයක් සහිතවය.
කෙසේ වෙතත් මේ තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම ලෙස මේ වනවිටත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඉදිරියට පැමිණ තිබේ.







