ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවා අවශ්‍යතාවන් සපුරාලීම වෙනුවෙන් අලුතින් බඳවා ගත් කොන්දොස්තරවරියන් 20 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීම අද (06) පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි.
මෙම අවස්ථාවේ විශේෂත්වය වූයේ සේවයට අලුතින් එක්වන කොන්දොස්තරවරියන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද නව නිල ඇඳුමක් ද නිල වශයෙන් හඳුන්වා දීමය.
පත්වීම් ප්රදානෝත්සවය සඳහා රජයේ ප්‍රධාන නියෝජිතයින් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න සහ පාර්ලිමේන්තු මන්ත්රීනී සමන්මලී ගුණසිංහ මේ අවසථාවේ ප්‍රධාන ආරාධිතයෝ වූහ.
තවද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනගරත්න ඇතුළු මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ පත්වීම් ලාභී තරුණියන්ගේ මවුපියන් සහ ඥාතීන් පිරිසක් මෙම සුවිශේෂී අවස්ථාවට එක්ව සිටියහ.
කාන්තා කොන්දොස්තරවරියන්ගේ වෘත්තීය ගරුත්වය සහ සේවයේ පහසුව සැලකිල්ලට ගනිමින් මෙම නව නිල ඇඳුම නිර්මාණය කර ඇත.
පොදු ප්‍රවාහන සේවය තුළ කාන්තා නියෝජනය ශක්තිමත් කිරීම සහ මගී ජනතාවට වඩාත් විධිමත් සේවාවක් සැපයීම මෙම බඳවා ගැනීම්වල මූලික අරමුණය.







