ශ්‍රී ලංකාවේ දැනට පවතින අර්බුදය ඉතා දැඩි, පෙර නොවූ විරූ අවදානම් සහගත සියුම් තත්ත්වයක් බවත් එම දැඩි බලපෑම ඉන්දියාවට ද දැනිය හැකි තරමේ ඉතා ඉහළ අවධානයට ලක් කළ යුතු තත්ත්වයක් බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් ඊයේ පැවැති ශ්‍රී ලංකාවේ පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරන සර්ව පාක්ෂික රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
එසේම මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලංකාව අතර සාකච්ඡා පැවැත්වෙන බවත් එහිදී ලංකාව සම්බන්ධයෙන් සිදුකෙරෙන සැලසුම් පිළිබඳ අවධානයෙන් සිටින බව විදේශ අමාත්‍යවරයා සමුළු නායකයින් හමුවේ පවසා තිබේ.
නව දිල්ලි නුවරදී ඉතා දීර්ඝ වේලාවක් පැවති මෙම සර්ව පාක්ෂික රැස්වීමේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ සියලු පක්ෂ නායකයින් දැඩි අවධානයක් යොමු කර ලංකාවට ලබා දිය හැකි සහය පිළිබඳව ද අවධානය යොමු කර ඇත.
මෙම රැස්වීම සඳහා ඉන්දීය රජයේ පක්ෂ විපක්ෂ නායකයින් 28 දෙනකු පමණ සහභාගී වී ඇති අතර එයට විදේශ අමාත්‍යවරයා ඇතුළු ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන් හයදෙනෙකු සහභාගී වී ඇත.
මෙම රැස්වීමට සහභාගී වීමට සිටි ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් කොවිඩ් තත්ත්වය හේතුවෙන් සහභාගී නොවුණු බව එකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. කෙසේ වෙතත් ලංකාවේ මූල්‍ය තත්ත්වයත්, ඇමරිකානු ඩොලර් බිලියන 3.8ක ණය හා ආධාර පිළිබඳවත් මුදල් අමාත්‍යංශ බලධාරීන් විසින් ඉදිරිපත් කිරීම් දෙකක් සිදු කළ බව අනාවරණය විය.
එසේම මෙම තත්ත්වය මත ලංකාවේ දේශපාලනය තුළ නිර්මාණය වී ඇති වර්තමාන තත්ත්වයත් ඉන් ඉන්දියාවට ඇති විය හැකි බලපෑම් ගැනත් මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්ව ඇති බව සඳහන්ය.
කෙසේ වුව ද ඉන්දියාවේ ප්‍රාන්ත නියෝජනය කරන සුළු පක්ෂ කීපයක් ප්‍රාන්තවල අර්බුද පවතිද්දී ලංකාවට ආධාර කිරීම ගැන විරෝධයක් ද එල්ල කර තිබේ.
එහෙත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අසල්වැසියා පළමුව ප්‍රතිපත්තිය යටතේ ලංකාවට ආධාර උපකාර කරන බවත් මෙම අර්බුදය දුර දිග ගියහොත් එහි පිටාර ගැලීමේ බලපෑම ඉන්දියාවට ද දැනෙන බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙම අවස්ථාවේදී පැහැදිලි කර ඇත.
විදේශ අමාත්‍යවරයා මෙම රැස්වීම අවසානයේ මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ නිසි මූල්‍ය කළමණාකරණයක් නොමැති වීම හේතුවෙන් බිඳ වැටී ඇති ලංකාවේ තත්ත්වය ඉන්දියාවට ද ආදර්ශයක් ගත හැකි අර්බුදයක් බවයි.







